ට්‍රැවලින් බෑගයක දමාගෙන කාන්තා මළ සිරුර රැගෙන ආ ආකාරය ගැන තොරතුරු හෙළිවේ

හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුර ට්‍රැවලින් බෑගයක දමාගෙන පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයට රැගෙන ආ ආකාරය පිළිබඳ තොරතුරු අනාවරණයවී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අදාළ පුද්ගලයා විසින් 143 මාර්ග අංකය ඔස්සේ ධාවනය වන හංවැල්ල – පිටකොටුව බස් රථයක එම ගමන් මල්ල රැගෙන විත් ඇති බවය.

යම් පුද්ගලයෙකු විසින් වේල්ල වීදියේ මාර්ගයක ට්‍රැවලින් බෑගයක් තල්ලුකර ගෙන යන අයුරු එම ස්ථානයේවූ සී.සී.ටීවී දර්ශනවල සටහන්ව තිබූ අතර, පොලීසිය ඒ පිළිබඳ විමර්ශන සිදුකිරීමේන් අනතුරුව ඒ පිළිබඳ තොරතුරු අනාවරණයවී ඇත.

ඒ අනුව අදාළ බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, බස් රථයේ රියදුරුගෙන් හා කොන්දොස්තරවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී යම් පුද්ගලයෙක් ට්‍රැවලින් බෑගයක් රැගෙන හංවැල්ල ප්‍රදේශයෙන් බස් රථයට ගොඩවූ බව සනාථ කර ගෙන තිබේ.

මේ අතර කාන්තා මළ සිරුර මේ වන විට කොළඹ, පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර, අද දිනයේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

බෑගය රැගෙන යන පුද්ගලයා පිළිබඳ සී.සී.ටීවි දර්ශන ඊයේ දිනයේ දී නිකුත් කළ අතර, ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ  0718 591 557 හෝ හදිසි ඇමතුම් ඒකකය වන 0112 433 333 යන දුරකතන අංකයන්ට දැනුම්දෙන දෙස ද පොලීසිය ඉල්ලීමක් කරයි.

හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් ගමන් මල්ලක දමා, මහ මඟ දමාගොස් තිබිය දී පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයෙන් ඊයේ (01) සොයාගත්තේය.

පොලීසිය පැවසුවේ එම සිරුර වයස අවුරුදු 20ක් පමණ වූ තරුණියකගේ බව ය.

පිටකොටුව වේල්ල වීදියේ වෙළෙඳසැලක් ඉදිරිපිට තිබූ එම සැක සහිත ගමන් මල්ලක් පිළිබඳ වෙළෙඳසැල් හිමියකු වේල්ලවීදිය පොලීසියට දුන් තොරතුරක් මත පොලීසිය ඒ පිළිබඳ විමර්ශන ඇරඹීය.

Leave A Reply

Your email address will not be published.