ෂෙහාන් ජයසූරියට රට හැර යන්න හේතුවූවා යැයි කියන තිසර චෝදනාවට පිළිතුරු දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය විසින් ජාතික පුවත්පත ක්‍රීඩා අතිරේකයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා සිටියේ තමාට ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් ඉවත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක තිසර පෙරේරා සහ ඔහුගේ බිරිඳ ද හේතු වූ බවයි.

මෙම පුවත ඉතාම වේගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙරට ක්‍රිකට් ලෝලීන් අතර හුවමාරු වූ අතර බොහෝ දෙනෙක් මේ පිළිබඳව දැඩි මතවාදයන් ද ඉදිරිපත් කර තිබුණි.

මෙම ප්‍රකාශයට තිසර පෙරේරා විසින් සිය නිල ෆේස්බුක් පිටුවේ ශෙහාන් ජයසූරියගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සිය පිළිතුර ලබා දී තිබුණි.

තිසර එහිදී පළ කර තිබූ සටහන පහතින්,

මාගේ සහෝදර ක්‍රීඩකයෙක් මා පිළිබඳව පුවත්පතකට කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් මා පිළිබඳ වැරදි  වැටහීමක් ඇතිවිය හැකි බව පෙනීයන නිසා ඒ කාරණය පිළිබඳව සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම සුදුසු බවට මා තීරණයට කළා.

ඔහු සඳහන් කළ කාරණය තරගාවලියක් අතරතුර සිදූවූ කාරණයක් නිසා එවනි දේ පිළිබඳව ජනමාධ්‍ය ඉදිරියේ කතා කිරීම පිළිගත් සම්ප්‍රදාය නොවුණත් මාගේ සහෝදර ක්‍රීඩකයා සම්පූර්ණ වැරදි ප්‍රකාශයක් සිදුකිරීමෙන් පසුව ඒ පිළිබඳව සත්‍ය ප්‍රාකාශ කිරීම හැර මට කිසිදු විකල්පයක් නොමැත.

2017 ඩුබායි හි දී මා නායකත්වය දැරූ සංචාරයක දී මාගේ සහෝදර ක්‍රිඩකයා යම් කාන්තාවක් (අද ඔහූගේ දෙවෙනි බිරිය) සංචාරයට රැගෙන විත් ඇයව ඔහුගේ කාමරයේ තියාගැනීමට එවකට සිටි කළමනාකරුගෙන් අවසර ඉල්ලා තිබිණ.

එවිටත් ඔහු විවාහක එක්දරු පියෙක් බැවින් කණ්ඩායම් නායකයා ලෙස මම ඒ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළෙමි. එයට හේතුව කණ්ඩායමක් තුළ ආරක්ෂා කලයුතු විනයයි (Discipline).  කණ්ඩායම සමග සoචාරයක යෙදී සිටිය දී විනයගරුකව හා ගෞරවනීය ලෙස හැසිරීමට අප සැම බැදීසිටී.  මා එදා එයට එකගවූවේ නම්  අද මා ඔවුන් දෙදෙනාගේ වීරයා වන්නට ඉඩ  තිබිණ. නමුත් විවාහකයකුට දැන දැන ම වෙනත් කාන්තාවක් තම හෝටල් කාමරය තුළ තබාගැනීමට ඉඩ දීම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස මා විසින් නවකයන්ට ලබා දෙන වැරදි ආදර්ශයක් මෙන්ම දැඩි විනය විරෝධි ක්‍රියාවකි.

මේ කතාවේ සත්‍ය මෙපමණයි.

කිසිවෙකු සමග පෞද්ගලික තරහක් මා හට කිසිසේත් ම නැත. විනය යනු කණ්ඩායමක් තුළ තිබිය යුතු ම දෙයකි. වගකිව යුතු ක්‍රීඩකයෙකු ලෙස විනය රැකීම ඉතා වැදගත් මෙන්ම  එය ඕනෑ ම කණ්ඩායමකට හෝ ක්‍රීඩකයෙක්ට සාර්ථකත්වය කරා යෑම පහසු කරයි.

හැමදේම දක්ශතාව මත පමණක් ම තීරණය නොවේ. මා එදා ඉටුකළේ මාගේ යුතුකම හා වගකීමයි.

අපගේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් අප ආදර්ශයට ගත් දේ වගේම; බිරිඳ , දරුවන් හැර වෙනත් පිටස්තරයන් සoචාරයක් තුළ හෝටල් කාමරයේ තියාගැනීම ද අපගේ නීති සහ රෙගුලාසිවලට මෙන්ම සදාචාරයට ද පටහැනිය.

ඒ වගේම කිසිම පිටස්තරයෙකුට පමණක් නොව පවුලේ සාමජිකයෙකුට වුව ද ක්‍රීඩා විවේකාගරයට (Players’ Dressing Room) ඇතුළුවීමට කිසිම අවසරක් නැත. එය වෙන්වන්නේ  ක්‍රිඩකයන්ට හා කණ්ඩායමේ කළමනාකාරිත්වයට පමණයි. අප හැම දන්නා හා ගරුකරන නිතීය එයයි. මේ තීරණ මා හා කණ්ඩායම් කළමනාකාරිත්වය එක්ව ගත් තීරණ මිසක කිසිසේත්ම මාගේ බිරිඳ විසින් ගත් තීරණ නොවේ.

ක්‍රීඩාව හා පෞද්ගලිකත්වය මිශ්‍ර කර නොගන්නේ නම් කිසි දින අනවබෝධයක් ඇති නොවනු ඇත.

එසේම පුද්ගලික කාරණාවක් පිළිබඳව අදහස් ප්‍රාකාශ කිරීමට අකමැත්තෙන් පෙලඹීමට සිදුවීම ගැන මා සමාව ඉල්ලා සිටිමි.

මොහු පවසන පරිදි , මාගෙ මේ සහෝදර ක්‍රීඩකයා අප නිසා රට හැර ගියේ නම් එය බලවත් කණගාටුවට කරුණකි. නමුත් එය කිසිසේත් එලෙස සිදු නොවූවකි.

කෙසේ වෙතත් මා ඔහුට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.

– තිසර පෙරේරා –

Leave A Reply

Your email address will not be published.