නිරෝධායනයේ දී සිදුවන වංචනික ක්‍රියා දැනුම්දෙන්න – යුද හමුදාපති

විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේ දී අයථා ලෙස මුදල් ලබාගන්නා තෙවන පාර්ශ්වකරුවන්ට ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන ලෙස නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධව සිටින හෝටල් හිමියන්ට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී තිබේ.

යුද හමුදාපතිවරයා පවසන්නේ කොවිඩ් -19 වෛරසයේ දෙවන රැල්ල පැතීරයෑමෙන් පසුව මෙවැනි වංචනික ක්‍රියාවන් සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව ය.

නිරෝධායන ක්‍රියාවලිය ඉතා ඉහළ ප්‍රමිතියකින් හා විශ්වාසනීයව පවත්වාගෙන යෑමට යුද හමුදාව කටයුතු කරන බැවින් ඒ සම්බන්ධයෙන් යුද හමුදාව ගොඩනගාගෙන ඇති ප්‍රතිරූපයට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී හෝටල් හිමිකරුවන් සහ හෝටල් විධායක නිලධාරීන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවක දී යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේය.

මෙරටට පැමිණ හෝටල්වල නිරෝධායනයට ලක්වන පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සාධාරණ මුදලකට ලබාදීම තම අරමුණ බව යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි.

විදෙස්වල සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේ දී ඇතැම් වංචනික පුද්ගලයන් මුදල් ලබාගෙන තිබුණ ද එවැනි ක්‍රියාවන් සිදුවීමට ඇති ඉඩකඩ මේ වනවිට සම්පුර්ණයෙන් ම අවුරා තිබෙන බව ද පැවසු ශවේන්ද්‍ර  සිල්වා මහතා යම්කිසි හෝ ආකාරයකින් එවැනි ක්‍රියාවක් සිදුවූවහොත් ඒ පිළිබඳ වහාම යුද හමුදාවේ අවධානයට යොමුකරන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා තිබේ.

Leave A Reply

Your email address will not be published.