අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ තෛපොංගල් සුබපැතුම් පණිවුඩ

තෛපොංගල් උත්සවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සුබපැතුම් පණිවුඩ නිකුත් කර තිබේ.

ස්වභාවධර්මයේ වටිනාකම, සමානාත්මතාවයට ගරු කිරීමේ වැදගත්කම කෘතගුණ දැක්වීමේ උසස් ගුණාංගය වැනි සියලු ආගම්වල මානූෂිය අදහස් පිළිබඳව තෛපොංගල් උත්සවය අපට අවබෝධයක් ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජාතිය, ආගම සහ භාෂාව අනුව එකිනෙකාට වෙනස් වුවද අප සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් ලෙස සිතුවිලි හා අපේක්ෂාවන්ගෙන් එක හා සමාන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ අභියෝගාත්මක කාල වකවානුවක වුව ද සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් සියලු ජනතාවගේ ජිවන තත්ත්වය උසස් කිරීම උදෙසා රජය ඇප කැපවී සිටින බව ය.

මේ අතර සොබාදහමට සමීපව තෛපොංගල් සමරමු යනුවෙන් සඳහන් කරමින් සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සුබ පැතුම් එක්කර තිබේ.

ලෝකවාසී සමස්ත හින්දු ජනතාව මහත් භක්තියෙන් සමරන තෛපොංගල් මංගල්‍යය නිමිත්තෙන් සුබපැතුම් එක්කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ අස්වැන්න නෙලීමේ උත්සවය”යන අරුත ඇති තෛපොංගල් උත්සවය මනුෂ්‍ය වර්ගයාටත්, සතා සිවුපාවාටත්, සොබාදහමටත් මෛත්‍රීය, කරුණාව දැක්වීමේ උදාර  පරමාර්ථයන්ට අනුව සැකසී ඇති බව ය.

මහජනයා අතර සුහදත්වය මෙන්ම, අන්‍යෙන්‍ය අවබෝධය උදාකර ගතහැකි උග්තුංග අවස්ථාවක් ලෙසද තෛපොංගල් උත්සවය හඳුනාගත හැකි බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

Leave A Reply

Your email address will not be published.