නිකමටවත් ආණ්ඩුවට හිතෙන්නේ නැද්ද අනේ අපේ රටේ ජනතාව පව් කියලා – සජිත්

වර්තමානයේ රට පාලනය කරන්නේ හිතක් පපුවක් නැති ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ, පිළිමතලාවේ ඊයේ (10) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිමතලාව ප්‍රදේශයේ පිත්තල කර්මාන්තකරුවන් හමුවී ඔවුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක නිරතවිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂ නායකවරයා,

“අපි පිළිගන්නවා කොවිඩ් 19 ලොකු අභියෝගයක්. නමුත් කෝවිඩ් 19 අභියෝගයක් වුණා කියලා අපිට කියන්න බැහැ කෝවිඩ් නිසා රට අකර්මණ්‍ය වුණා කියලා. නවසීලන්තයේ, තායිලන්තයේ කෝවිඩ් තත්ත්වය මනා ලෙස කළමනාකරණය කළ නිසා. ඒ වැටිලා තිබුණ ප්‍රපාතයෙන් ගොඩ එන්න ඒ අයට හැකියාව ලැබුණා. දැන් ඒ රටවල්වල ආර්ථිකය යම් මට්ටමකට ශක්තිමත් වෙමින් පවතිනවා. අපේ රටේ එන්න එන්නම ආර්ථිකය දුර්වල වෙනවා. මොකද්ද මේකට හේතුව. පැහැදිලි ඉලක්කයක් සහිත ආර්ථික ගමනක් නොමැති වීම. හැම අතකින්ම බොහෝම දුර්වල මට්ටමකට වැටිලා තියෙනවා. සැලැස්මක් නෑ. වැඩපිළිවෙලක් නෑ. 69 ලක්ෂයක් අරගෙන ජනාධිපතිවරණයේ 68 ලක්ෂයක් අරගෙන මහමැතිවරණයේ මෙහෙම කරන එක කණගාටුදායක තත්ත්වයක් නේද? නිකමටවත් ආණ්ඩුවට හිතෙන්නේ නැද්ද අනේ අපේ රටේ ජනතාව පව් කියලා. මිත්‍රවරුනි අද රට පාලනය කරන්නේ හිතක් පපුවක් නැති ආණ්ඩුවක්“

Leave A Reply

Your email address will not be published.