රනිල් නායක ප්‍රශ්නය වෙන පැත්තකට හරවයි..

මේ වසර මුල දී එක්සත් ජාතික පක්ෂය සඳහා නව නායකයෙකු පත්කරන බවට වත්මන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දුන් පොරොන්දු ඉටු නොකොට එය වෙනතකට හැරවීම සඳහා වික්‍රමසිංහ මහතා සැලසුම් සකස් කරමින් තිබෙන බව ආරංචි මාර්ග පෙන්වාදෙයි.

එහි එක් පියවරක් ලෙස එළඹෙන බදාදා පැවැත්වීමට නියමිතය කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී පත්වන නව නිලධාරී මණ්ඩලයේ සහ ආසන සංවිධායකවරුන්ගේ ඉදිරි හය මාසයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ වැඩපිළිවෙළක් හඳුන්වාදීමට වික්‍රමසිංහ මහතා සුදානම් වන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සමාලෝචන කටයුතු අධ්‍යයනය කිරීමේ වගකීම පක්ෂ නායකයා විසින් නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාට මේ වන විටත් පවරා තිබේ.

පක්ෂයේ තනතුරු ගැන කතා නොකොට පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව අවධානය යොමුකොට කැපවීමෙන් වැඩ කරන ලෙස මීට පෙර පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී ද වික්‍රමසිංහ මහතා පක්ෂයේ තනතුරු දරන්නන්ට හා ආසන සංවිධායකවරුන්ට දැනුම් දෙන ලදී.

මෙම පසුබිම මත මේ වර්ෂය තුළ ද පක්ෂ නායකත්වයේ වෙනසක් සිදු නොවන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.