ස්වභාවික සම්පත් රීතීන්ට ගරු කිරීමේ වැදගත්කම ඇමති චමල් පෙන්වා දෙයි

ආපදාවට මුහුණදීමේ සහ එය නිසිපරිදි කළමනාකරණය කරගැනීම සදහා විධිමත් යාන්ත‍්‍රණයක අවශ්‍යතාව රටට පෙන්වා දුන් සුනාමි ව්‍යසනය විපතකදී ජාතියක් ලෙස එකමුතුව  ක‍්‍රියා කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දෙනු ලැබූ බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ පවසනවා. ස්වභාවික සම්පත් සම්බන්ධ රීතීන්ට ගරු කිරීම, පාරිසරික සාධක නිසිපරිදි සංරක්ෂණය කිරීම ආදිය තුළින් ස්වභාවික ආපදාවන්ට මුහුණ දීමේ පූර්ව සංවේදිතාවක් ඇති කර ගත  හැකි යැයි තමන් විශ්වාස කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ තුළින් පසු හානි සහ උපද්‍රව අවම කරගත හැකි බවත් ඒ සදහා සියලුදෙනාට ම නොසලකා නොහැරිය යුතු  පුරවැසි වගකීමක් ඇති බවත් අමාත්‍යවරයා සිහිපත් කරනවා.

රජයක් ලෙස ස්වභාවික ආපදා සහ විපත්වලින් ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම මෙන්ම වගවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ”සෞභාග්‍යයේ දැක්ම” තුළින් නිසිපරිදි තහවුරු කර තිබෙනවා. විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එම වගකීම නිවැරදිව ඉටුකර සුරක්ෂිත රටක් ගොඩනැගීමට අප කැප වී සිටින බවයි ජාතික සුරක්ෂිතතා දිනය වෙනුවෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

2004 දෙසැම්බර් 26 දින සුනාමි ඛේදවාචකයෙන් මියගිය සියලුදෙනාට ම නිවන් සුවය පතන බවත් සිය ආදරණීයන් අනපේක්ෂිත ලෙස අහිමිවීමෙන් අදටත් පීඩා විඳින සියලුදෙනාට ම සිය අමාත්‍යංශයේත් රජයේත් ශෝකය පළ කරන බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන්.

Leave A Reply

Your email address will not be published.