විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයන්ගේ නිරෝධායන ක්‍රියාවලියේ වෙනසක්

විදේශ ගතව සිටින පුද්ගලයන් මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනය වන දින ගණන 28 සිට 14 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වන නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දිනයේ දී නිකුත් කිරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

නව ක්‍රමවේදය අනුව විදේශ ගතව මෙරටට පැමිණෙන පුද්ගලයෙකු දින 14ක කාලයක් නිරෝධායනයවීමෙන් පසුව සිදුකරනු ලබන PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් 19 ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් යළි නිවසට ගොස් දින 14ක් නිරෝධායනයවීමේ ක්‍රමවේදය මේ ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි මෙහිදී හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

ඉදිරි සති කිහිපයේ දී ගුවන්තොටුපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණය ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ජා සිදුකළ බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ.

මේ අතර විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් ගුවන්තොටුපොළේ දී මුහුණදෙන ප්‍රමාදය මග හරවා ගැනීම සඳහා ද ගුවන්තොටුපොළ බලධාරීන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ජා කළ බව ද මෙහිදී යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

Leave A Reply

Your email address will not be published.