එජාපයට තවත් නියෝජ්‍ය නායක ධුරයක්?

ඉදිරියේ දී නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ස්ථාපිත කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන බව පක්ෂ ආරංචිමාර්ග සදහන් කරයි. එමෙන්ම පෙර ප්‍රකාශ කළ පරිදි ලබන වසරේ ජනවාරි මාසයේ දී පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවීමට ද ඔහු සූදානම් වන බව වාර්තා වෙයි.

වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වයන් මත පළපුරුදු නායකත්වයක් තරුණ නායකයන් සමග එක්ව මෙහෙයවිය යුතු බවට ජ්‍යෙෂ්ඨයන්ගේ ඉල්ලීම මත මෙම පියවර ගැනීමට රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ. ජනවාරි මාසයේ දී පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවට ඔහු මීට පෙර දැනුම් දී තිබුණි. පක්ෂ නායකත්වයේ රැඳී සිටිය ද උපදෙස් හා නායකත්වය පමණක් ලබාදීමට ද බිම් මට්ටමේ සියලු සංවිධාන කටයුතු තරුණ නායකයන්ට ලබාදීමට ද රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

කෙසේ වෙතත් පක්ෂයේ මේ වන විට පුරප්පාඩුවී ඇති ප්‍රධාන තනතුරුවලට සුදුස්සන් ඉදිරි දෙසතිය තුළ නම් කිරීමටද නියමිත ය. පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් දෙසැම්බර් මස මැද භාගයේ දී පවත්වා සුදුස්සන් තෝරා පත් කරගන්නා බව පක්ෂ නායකත්වය දැනුම් දී ඇත.

මෙහි දී නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ස්ථාපිත කර උප නායක තනතුර අහෝසි කිරීමට ද අවධානය යොමු කර ඇත. පක්ෂයේ මහලේකම් ධුරයෙන් අකිල විරාජ් කාරියවසම් ඉවත් වුවහොත් ඔහුට නියෝජ්‍ය නායක තනතුරක් පිරිනැමීමට පක්ෂ නායකත්වය සැලැසුම් කර තිබේ. එම නිසා මහලේකම් ධුරයට සාගල රත්නායක මහතා පත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

Leave A Reply

Your email address will not be published.