මහනුවර භූ කම්පන ගැන කමිටු වාර්තාවෙන් හෙළිවූ කරුණු

මහනුවර දිස්ත්‍රික්කයෙන් පසුගියදා වාර්තාවූ භූ කම්පනය හුණුගල් කැණිම් හේතුවෙන් සිදුවුවක් බවට ප්‍රකාශ කළ නොහැකි බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකළ කමිටුව පවසයි.

පසුගිය 18 වනදා හටගත් මෙම භූ කම්පනය මහනුවර අලුත්වත්ත, අඹකොටේ, දිගන, මයිලපිටිය, අනුරවත්ත සහ හාරගම යන ප්‍රදේශවලට දැනී තිබුණි.

ඒ, සම්බන්ධයෙන් විද්‍යාත්මක පරික්ෂණයක් සිදුකිරීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලබාදුන් උපදෙස් මත භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා විසින් සය පුද්ගල කමිටුවක් පත්කර තිබු අතර එහි වාර්තාව විෂයභාර අමාත්‍යවරයා වෙත භාරදී තිබේ.

ප්‍රදේශයේ හුණුගල් බහුල වුවද හුණුගල් කැණීම් හේතුවෙන් මෙම කම්පන සිදුවන බවට ප්‍රකාශ කළ නොහැකි බව අදාළ කමිටු වාර්තාවෙන් පෙන්වාදී ඇත.

කෙටිකාලයක් තුළ එකම කලාපයේ භූ කම්පන කිහිපයක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ දිගුකාලීන අඛණ්ඩ අධීක්ෂණ වැඩසටහනක් කඩිනමින් ස්ථාපිත කළයුතු බවටද කමිටු වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් පසුගියදා සිදුවු භූ කම්පනය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වේල්ලට හානිකර තත්වයක් උදාවී නොමැති බව විද්වත් වාර්තාවෙන් පෙන්වා දී ඇති බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.