ශ්‍රී ලංකාවෙන් ගෙන ගිය පුස්කොළ පොත් යළි ගෙන්වන්න යයි

විවිධ අධිරාජ්‍යවාදී යුගවල දී බ්‍රිතාන්‍ය ඇතුළු විදෙස් රටවල්වලට රැගෙන ගොස් ඇති, මෙරට හෙළ වෙදකම සහ වෙනත් උරුමයන් පිළිබදව තොරතුරු ඇතුළත් පුස්කොල පොත් ගෙන්වාගැනීමට කටයුතු සාකච්ඡා කරමින් පවතින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ග්‍රාමිය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහනේ මාතලේ දිස්ත්‍රික්  සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්විමට සහභාගි වෙමිනි.

එම කමිටු රැස්වීම ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ හෝටල් පාසල් ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

එහිදි ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම පුස්කොල පොත් රැසක් ලන්ඩන් නුවර කෞතුකාරාගවල ඇති බවත් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අපේ රටේ හෙළ වෙදකම ඇතුළු අතීතයේ මුතුන් මිත්තන්ගේ දේශීය ඥානය පිළිබදව ලියා ඇති පුස්කොළ පොත් ඉතා වටිනා සම්පතක් බවත් ඒවා ආරක්ෂා කර මතු පරපුරට දායාද කිරිමට කටයුතු කළ යුතු බව ය.

මෙහිදි අදහස් දැක්වූ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධය සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කියා සිටියේ මෙම පුස්කොළ පොත් හෝ ඒවා පිටපත් කර මෙරටට ගෙන්වාගැනීමට අදාළ කටයුතු මේ වන විටත් සාකච්ඡා කරමින් ඇති බව ය. බ්‍රිතාන්‍යයේ ඇති පුස්කොළ පොත්වල එක් පිටුවක් ඡායාපිටපත් කිරීම සදහා බ්‍රිතාන්‍ය පවුම් 25ක් අය කරන බවත්, කෙසේ හෝ මෙම පුස්කොළ පොත් ගෙන්වාගැනිමට හෝ ආදළ විස්තර ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් මෙහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.