මාධ්‍ය මෙන්ම ජනතාව සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයට හේතු වුණා – ජනපති

මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් 19 මර්දනය කළ හැකි බවත්, අවශ්‍ය වන්නේ ජනතා සහය බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම කොවිඩ් 19 වසංගතය සතුටුදායක ලෙස පාලනය කළ පසු මාධ්‍ය මෙන්ම ජනතාව ද සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයට හේතුවූ බවත් මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් 19 මර්දනය කළ හැකි බවත් අවශ්‍ය වන්නේ ජනතා සහය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

“කොවිඩ් වසංගතය “සෞඛ්‍ය” ගැටලුවක්. ඉන් ජනතාව රැකගෙන රට ඉදිරියට ගෙන යාම සෞඛ්‍ය  සේවාව සහ රජය සතු වගකීමයි. ලොව ඉහළම දැනුමකින් සමන්විත මෙරට වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එය කළහැකි බව තමා දැඩි ලෙස විශ්වාස කරනවා..” යයි ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (09) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“වසංගත ව්‍යාප්තිය හමුවේ අපට ගත හැකි විකල්ප තුනක් තිබෙනවා. එක ඇඳිරි නීතිය පනවා රටම ලොක් ඩවුන් කිරීම, දෙවැන්න කිසිවක් නොකර සිටීම, තුන්වැන්න රෝගය පාලනය කරන අතර, රට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම. අප තෝරාගත්තේ තුන්වැනි විකල්පය..” ජනාධිපතිවරයා පැවසීය.

“කොවිඩ් රෝගීන් හඳුනාගෙන නිසි ප්‍රතිකාර දෙමින් පළමු අදියරේ දී ම සුවපත්කිරීමට වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට හැකිවී තිබේ. එබැවින් දැඩි සත්කාර සේවා අවශ්‍ය ම නොවීය. රෝග ව්‍යාප්තිය මර්දනයට සහ අසාදනය වීමෙන් වැළකීසිටීමට ජනතාව ද නොමඳව සහය විය යුතුයි..” යනුවෙන් ඔහු සඳහන් කළේය.

“කොවිඩ් සතුටුදායක ලෙස පාලනය කළ පසු මාධ්‍ය මෙන්ම ජනතාව ද සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයට හේතු විය. වසංගතය ලොවෙන් තුරන් කරන තෙක් රට වසාගෙන සිටිය නොහැක. යථා තත්ත්වය අවබෝධ කරගෙන ක්‍රියා කළයුතුය. දින 40කට ආසන්න කාලයක් වසා දැමුණු ප්‍රදේශවලින් ද දෛනිකව ආසාදිතයන් වාර්තා වේ. ඉන් පෙනීයන්නේ වසා දැමීමෙන් පමණක් වසංගතය මර්දනය කළ නොහැකි බවයි.”

“පහසුම දේ රට වසා දැමීමයි. නමුත් මිනිසුන් ජීවත් කළ යුතුය. රැකියා කෘෂි, ධීවර ඇතුළු සියලු කටයුතුවල නිරත වෙමින් ආර්ථිකය ආරක්ෂා කිරීම මගේ වගකීමක්. PCR පරීක්ෂණ සඳහා රජය දිනකට වැය කරන මුදල රුපියල් මිලියන 60කට අධික ය. නිරෝධායනය ඇතුළු සමස්ථ ක්‍රියාවලිය සඳහා දෛනිකව අතිවිශාල මුදලක් වැය කෙරේ. ජනතාව මේ තත්ත්වය අවබෝධ කරගෙන රෝගයට ගොදුරුවීමෙන් වැළකී සිටීමට පුද්ගලිකව වගකීම ගැනීම යුතුකමක්..” ජනාධිපතිවරයා පැවසීය.

Leave A Reply

Your email address will not be published.