MCC ගැන ඇමති ගම්මන්පිල දැන් කියන කතාව

අමෙරිකාව සමඟ පෞද්ගලික තරහක් නොමැති අතර විරුද්ධ වූයේ MCC ගිවිසුමේ තිබූ ඇතැම් වගන්තිවලට බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා (29) දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අපේ  ආණ්ඩුව සමයේ MCC ප්‍රදානයක් ගැන කියා තිබූ අතර ඒ සම්බන්ධයෙන් සාකච්ජා කරන බවක් පමණක් කියා තිබුණු නමුත් පසුගිය පාලන සමයේ එය අත්සන් කිරීමට අමෙරිකාව මෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව ද කැමැත්තෙන් පසු වූ බව ගම්මන්පිල මහතා කියා සිටියේය.

”මම එදත් කිව්වා අත්පුඩි ගහන්න අත් දෙකම ඕනේ. අමෙරිකාවට කෙතරම් ඕන වුණත් ලංකා ආණ්ඩුවට MCC ගිවිසුම අත්සන් කිරීමට උවමනාවක් නැහැ. පසුගිය ආණ්ඩුව සමයේ අපි අතිශය බය වුණා මොකද අමෙරිකාවටත් MCC සහ සෝෆා ඕනේ. ලංකා ආණ්ඩුවටත් ඒක අත්සන් කරන්න කැමැත්ත තියෙනවා. අත්දෙකම එකතු වෙලා තිබුණේ. අත්පුඩිය වදී කියලා අපි බය වුණා. අපි ලංකාව කියන අතේ එල්ලිලා අත පහුරු ගාපු නිසා එදා අත්පුඩිය ගහන එක වැළැක්වුණා.”

කෙසේවෙතත් මේ වන විට ඒ අත්පුඩිය ගහන්න ශ්‍රී ලංකා ආණ්ඩුවට අවශ්‍යතාවක් නැති අතර අමෙරිකාවට තනි අතින් අත්පුඩි ගහන්නත් නොහැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Leave A Reply

Your email address will not be published.