20ට සහය දුන් සමගි ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන් නෙරපයි

ඒකාධිපති විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධවීම සදහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම ගෙන තිබූ තීන්දුවට පිටුපා එම සංශෝධනයට සහාය ලබාදුන් විපක්ෂයේ සිටින සියලු ම මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට ඊයේ සවස රැස්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ඊයේ සවස පැවති අතර, මීට පෙර පැවති කණ්ඩායම් රැස්වීම් තුනකදීම විසි වැනි සංශෝධනයට හා ජාති ද්‍රෝහී ද්විත්ව පුරවැසිභාවයට විරුද්ධවීමට තීන්දු කළ නිසා එම තීන්දුවට පිටින් කටයුතු කළ මන්ත්‍රීවරුන් මෙසේ මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට තීරණය කළේය.

විසි වැනි සංශෝධනයට විරුද්ධවීමේ පක්ෂයේ තීන්දුවට එරෙහිව ගොස් එම සංශෝධනයට සහාය ලබාදුන් සියලු ම මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේය.

මේ අතර පක්ෂ තීන්දුවට පිටුපෑ සියලු ම මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළ අසුන් ගැනීමේ දී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම සමග අසුන් ගැනීම වළක්වන ලෙසත් ඉල්ලා සිටිමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලිපියක් යොමු කිරීමට ද මෙහිදී තීරණය කර ඇත.

මුළු දිවයින ම ආවරණය වන පරිදි සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස සියලු ම සංවිධාන කටයුතු ඉක්මනින් ආරම්භ කිරීමටද මෙහිදී වැඩිදුරටත් තීරණය කළේය.

Leave A Reply

Your email address will not be published.