තමන්ට එල්ලකළ චෝදනාවට මුරලි පිළිතුරු දෙයි

ලෝකයේ මෙතෙක් බිහි වු විශිෂ්ටතම දඟ පන්දු යවන ක්‍රීඩකයා වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරෙන “800” සිනමාපටයට එරෙහිව ඉන්දීයාවේ එල්ලවන විරෝධයට මුත්තයියා මුරලිදරන් තම ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් ඔහු මෙලෙස ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ලොව වැඩිම ටෙස්ට් කඩුළුලාභියා සහ ලොව අංක එකේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් පිටියේදී සහ පුද්ගලික ජීවිතයේදී මුහුණ දුන් සිදුවීම් පාදක කරගනිමින් “800” (එයිට් හන්ඩ්‍රඩ්) නම් මෙම දමිළ චිත්‍රපටය නිර්මාණය කිරීමට නියමිත අතර මෙම සිනමා පටයේ විඩියෝවක් පසුගියදා එළි දැක්වීමත් සමඟ දකුණු ඉන්දියානු ජනතාව, දේශපාලනඥයින් සහ බොහෝ පිරිසක් මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට එරෙහිව විරෝධය පළ කර තිබුණා.

දෙමළ ජනතාව ඝාතනය කෙරුණු රටක ක්‍රීඩකයකු වෙනුවෙන් සිනමාපටයක් නිර්මාණය කිරීමට තමන් එරෙහි වන බව පවසමිනුයි ඔවුන් විරෝධතා දක්වා ඇත්තේ.

එයට මුත්තයියා මුරලිදරන් ලිපියක් මගින් මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණා.

”ශ්‍රී ලංකාවේ 30 වසරක් පුරා පැවති යුද්ධය නිසා අපි පීඩාවට පත් වුණා. යුද්දෙන් වැඩිපුරම පීඩාවට පත් වුණේ ඉන්දියාවෙන් ආපු දෙමළ මිනිසුන්. යුද්දෙන් එන පීඩාව සහ වේදනාව මම හොඳටම දන්නවා. මේ වගේ තත්වයක ඉඳන් මම කොහොමද ක්‍රිකට් වාර්තා තිබ්බේ කියන එක තමයි මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ. මේක සමහරු දේශපාලනීකරණය කරන්න හදනවා. උදාහරණයක් විදියට 2009 තමයි මගේ ජීවිතේ සතුටුම අවුරුද්ද කියලා මම 2019දී කියපු කතාව දෙමළ මිනිසුන් මරපු දවස තමයි මුරලිට සතුටුම දවස කියලා සමහර අය ලියලා තියෙනවා. මම කිසිම දවසක අහිංසක ජීවිත මරණ එකට සහයෝගය දුන්නේත් නැහැ…දෙන්නේත් නැහැ… සමහර අය ඒගෝල්ලන්ගේ නොදැනුවත්කම නිසාත්, තවත් සමහර අය දේශපාලන හේතුමතත්, මම දෙමළ ජාතියට එරෙහි වුණ කෙනෙක් විදියට පෙන්වන එක මට වේදනාකාරියි.”

Leave A Reply

Your email address will not be published.