එක් පන්දුවකින් දෙආකාරයකට දැවී ගිය රෂීඩ් ඛාන්..

ඇෆ්ගනිස්තාන් කණ්ඩායමේ සහ IPLහි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් යනු 20යි 20 පිටියේ පන්දු යවන්නන් අතර ඉදිරියෙන් ම රැඳී සිටින පන්දු යවන්නෙකු බව නොරහසක්.

පන්දු යැවීමෙන් පමණක් නොව පන්දු රැකීමෙන් ද කණ්ඩායමට ඔහු දක්වන දායකත්වය සුළුපටු නොවේ. එමෙන්ම ඇතැම් අවස්ථාවල මෙම විශිෂ්ට පන්දු යවන්නා පිත්තෙන් ද දක්ෂතා දැක් වූ අවස්ථා අපට මතක ය.

කෙසේ වෙතත්, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී නම් ඔහුගේ පිතිකරණ දක්ෂතා දැක ගැනීමට මෙතෙක් ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් හිමි වූයේ නෑ.

නමුත්, පසුගියදා (13) චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග පැවැති තරගයේ රෂීඩ් ඛාන් පිතිකරණයේ නිරතවී සිටිය දී ඔහු දැවී ගිය ආකාරය සම්බන්ධයෙන් මේ වන විට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ, ඔහු ක්‍රිකට් පිටියේ කලාතුරකින් දක්නට ලැබෙන දැවී යාමේ ක්‍රමයක් වන හිට් විකට් දැවී යාමකට හසුවීම හේතුවෙන්.

මෙහි විශේෂත්වය වන්නේ ඔහු හිට් විකට් දැවීයාමේ ක්‍රමවේදයට හසුව දැවී ගිය බවට සුළු වේලාවක් ගත වන තුරු බොහෝදෙනෙකු නොදැන සිටීමයි. ඊට හේතු වූයේ රෂීඩ් ඛාන් එම  පන්දුව සඳහා දැවැන්ත පහරක් එල්ල කිරීමෙන් පසුව හතරේ සීමාව ආසන්නයේ දී උඩ පන්දුවක් ලෙස පන්දු රකින්නෙකු එය රැක ගැනීමට ද සමත්වීමයි.

ඒ අනුව ඔහු එම පන්දුවේ දී ආකාර දෙකකට දැවී ගිය නමුත්, නීති රීති ප්‍රකාරව ඔහු දැවී ගිය පිතිකරුවෙකු ලෙස සැලකෙන්නේ පළමුව දැවී ගිය ආකාරය වන හිට් විකට් දැවී යාමයි.

Leave A Reply

Your email address will not be published.