ගුවන්විදුලියේ – රූපවාහිනියේ ප්‍රචාරය වන ගීතවලට කර්තෘ භාගය ගෙවීම අනිවාර්ය කරයි

රූපවාහිනි, ගුවන් විදුලි ඇතුළු විද්‍යුත් මාධ්‍යයන්හි විකාශය වන ගීත සහ සංගීත වැඩ සටහන් සඳහා කර්තෘ භාගය ගෙවීම අනිවාර්යය කර ඇත.

වර්ෂ 2020 පෙබරවාරි මස 28 වැනි සිකුරාදා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයකින් මෙය ප්‍රකාශ කර තිබේ.

වෙළෙඳ අමාත්‍යංශයේ ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

වැඩිදුර අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.

මේ කරුණ පිළිබඳ දීර්ඝ කාලයක් පුරාවට විවිධ පිරිස් සමඟ සාකාච්චා කළ අතර අවසානයේ එහි ප්‍රතිඵලයක් ලෙස මා හට මේ පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර එම කර්තෘ භාගය ගෙවීම අනිවාර්යය කිරීමට හැකි වුණා. පසුගිය කාල පරිච්ඡේදය තුළ දී අපේ රටේ සංගීත කේෂත්‍රෙය් ගායක ගායිකාවන්, ගී පද රචකයන්, සංගීතඥයන් යන මේ සියලු පාර්ශ්වයන්ගේ ඉල්ලීමක් බවට පත් වූ කර්තෘ භාගය ලබාදීමට හැකිවීම සතුටට හේතුවක් වනවා.

එමෙන්ම මේ වන විට අවාසනාවන්ත ලෙස කොවිඩ් 19 වසංගතය අපේ රට වෙලාගනිමින් තිබෙනවා. මේ වන විට මාධ්‍ය ආයතන පවා අති විශාල දුෂ්කරතාවකට පත්ව තිබෙනවා. වෙළෙඳ දැන්වීම් විකාශය ද සීමා වූ නිසා ඔවුන්ගේ ප්‍රධාන අදායම් මාර්ගයන් වැසී ගොස් තිබෙනවා. රජයක් ලෙස අපට ද විද්‍යුත් මාධ්‍ය හිමියන්ගේ සංගම් ඉදිරිපත් කළ යම් කරුණු අනුව අපට විදේශීය සිනමා පට, නාට්‍ය යනා දී වැඩසටහන් විකාශයට අය කළ බද්ද පවා ඉවත් කරන්න සිදුවුණා.

Leave A Reply

Your email address will not be published.