අභාවප්‍රාප්ත රංගන ශිල්පී ටෙනිසන් කුරේගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය අද (29) පෙරවරුවේ ඒ මහතාගේ නිවසට ගෙනැවිත් තිබෙනවා.

දශක තුනකටත් අධික කාලයක් මෙරට ජනතාව තම රංගනයෙන් හාස්‍යයේ ගිල්වූ ටෙනිසන් කුරේ මහතා ඊයේ ජීවිතයෙන් සමුගත්තේ වයස 68ක් ව තිබියදී.

ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදීය.

1952 අප්‍රේල් 30 වැනිදා උපත ලද ටෙනිසන් කුරේ 1986 වසරේ තිරගත වූ, දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළ “පෙරළිකාරයෝ“ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි අතර චෙරියෝ ඩොක්ටර්, අලි බබා සහ හොරු හතලිහ, කම් ඕ ගෝ චිකාගෝ, ලව් නයින්ටි ෆෝ, වැඩ බැරි ටාසන් ආදි චිත්‍රපටවල සිදු කළ රංගනයෙන් ජනාදරයට පත්වුනා.

සිනමාව මෙන්ම වේදිකා නාට්‍ය ඔස්සේද රංගනයෙන් ප්‍රේක්ෂක ජනතාව සිනහ සයුරේ ගිල්වූ ටෙනිසන් කුරේ මහතා 2011 වසරේ “තෑන්ක් යූ බර්ටි“ නිර්මාණය කරමින් සිනමා අධ්‍යක්ෂණයටද පිවිසුණා.

ඒ, මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සවස මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථානයේදී සිදුකෙරෙන බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කලා.

Leave A Reply

Your email address will not be published.