පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රී භාරගත යුතුයි – පූජිත්

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (24) තෙවැනි වරටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට එක් විය.

එහිදී හිටපු පොලිස්පතිවරයා පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් භාරගත යුතු බව පැවසීය. මේ ප්‍රහාරය දිගුකාලීන දේශපාලන සැලසුම් නිසා ඇති වූ කඩාවැටීම් හේතුවෙන් සිදුවූවක් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

“මම ප්‍රහාරය සම්බන්ධයෙන් දිවයිනම ආවරණය වන පරිදි පත් කර තිබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නන්දන මුණසිංහ, ලතීෆ්, ප්‍රියලාල් දසනායක, වරුණ ජයසුන්දර යන නිලධාරීන්ට බුද්ධි තොරතුර දැනුම් දුන්නා. පළාත් භාර නිලධාරීන්ට දැනුම් දුන්නා.” යැයිද ජයසුන්දර මහතා සදහන් කළේය.

“මම කතා කළ දුරකතන සංවාද පමණක් නොමැතිවීමට හේතුව පිටුපස හිටපු ජනාධිපතිගේ සහෝදරයා සිටින බව”ද ඒ මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසීය.

ටෙලිකොම් මොබිටෙල් භාරව හිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා බව ද කියා සිටි ඒ මහතා, “මම කතා කළ දේවල් පමණක් නැතිවීමට හේතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා බව”ද කියා සිටියේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගැනීමට නොහැකි නිසා එම ප්‍රහාරයේ වගකීම තමන්ට භාරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 23 වැනිදා තමන්ට දැනුම් දුන් බවත් එම ඉල්ලීම තමන් ප්‍රතික්ෂේප කළ බවත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

“පාස්කු ප්‍රහාරයෙන් පසුව 23 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මට එන්න කිව්වා. මම රාත්‍රී 8ට විතර ගියා. එහි යනවිට ලසන්ත අලගියවන්න, තිලංග සුමතිපාල, මහින්ද අමරවීර යන මහත්වරුන් තිදෙනා සිටියා. ඉන් අනතුරුව පැමිණි ජනාධිපතිවරයා රටම අවුල් වෙලා තියෙන්නේ. මාව මේ ප්‍රහාරය ගැන ඔයා දැනුවත් කළෙත් නෑ. හේමසිරි දැනුවත් කළෙත් නෑ. ඒ නිසා ඔයා ප්‍රහාරයේ වගකීම භාරගන්න. මම ඔයාට ශ්‍රී ලංකාවේ උසස් තනතුරක් හෝ තානාපති තනතුරක් දෙන්නම් යැයි යෝජනා කළා. මලල්ගොඩ කොමිසමෙන් ඔයාව මම බේරාගන්නම් කියාත් කිව්වා. මම ඒ වෙලාවේ කිසිවක් නොකියා ආවා. නැවත මගෙන් අර කතාවට ඔයා මුකුත් කිව්වේ නෑ කියලා විමසුවා. ඉන් පසු උදය ආර්. සෙනෙවිරත්න මහතා 26 වැනිදා මට කිව්වා උඹ වගකීම භාරගනින් කියලා. මම කිව්වා ඇයි මම විතරක් මේ වගකීම භාරගන්නේ කියලා. මම අවුරුදු 34ක් සේවා කාලයක් තිබෙන කෙනෙක්. මට මොනවා හරි වුණොත් මගේ බිරිය දරුවන් අනාථ වෙනවා යැයි මම කිව්වා යැයිද ඒ මහතා කියා සිටියේය. එමෙන්ම මට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිනීමැරුම් චෝදනා එල්ල කළේ කිසිදු නිර්දේශයක් නැතිව බව ද ඒ මහතා කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.