පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමියනුත් දැන සිටියාද? හරීන්ගෙන් කොමිසමට ප්‍රශ්නයක්..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙර දැනුවත්ව සිටියේ දැයි විශේෂ විමර්ශනයක් සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරන ජනාධිපති  කොමිසම හමුවේ ඊයේ (16) පස්ව‍රුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව කියා සිටියා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉකුත් වසරේ පාස්කු ඉරුදින පළමු ප්‍රහාර මාලාව එල්ල වූ අවස්ථාවේ තමන් බදුලේලේ රැදී සිටි අතර තමන් ඇමතූ  සහෝදරිය මල්ලි අපි පල්ලි යන්න හිටියේ, කිංග්ස්බරි හෝටලයට යන්න හිටියේ, තාත්තා ඊයේ රෑ කතා කරලා කිව්වා යන්න එපා කියලා යනුවෙන් සදහන් කළ බවයි. එම අවස්ථාවේ ම තමන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමතා සර් මාර වැඩේ. අපේ තාත්තා කලින් දැනගෙන ඉඳලා යැයි පැවසූ බව ද මන්ත්‍රීවරයා කියා සිටියා. පසුව කොළඹට පැමිණි තමන් පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තම පියා හමුවී ප්‍රහාරය පිළිබද පෙර දැනුවත් වූයේ කෙසේ දැයි විමසූ විට තමුසෙට වඩා ගොඩක් දේවල් මම දන්නවා යනුවෙන් පමණක් පිළිතුරු දුන් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

අදාළ කාලය තුළ පෞද්ගලික හේතුවක් මත තම පියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ යම් සබදතාවක් පැවැත් වූ අතර එම නිලධාරියකු පෙර දැනුවත් කිරීම සිදු කළේදැයි සැක සහිත බව ඔහු කියා සිටියා. අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුවේ සැරයින් නන්දලාල් නැමැත්තෙකු හඳුනන්නේ දැයි ජ්‍යෙෂ්ඨ අධීනීතිඥවරයා ප්‍රශන් කළ අවස්ථාවේ මන්ත්‍රීවරයා කියා සිටියේ එවැනි තැනැත්තෙකු නොහඳුනන බවයි. පාස්කු ප්‍රහාරයට  පෙර දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයින් නන්දලාල් සමඟ හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා තත්ත්පර 356ක දුරකතන සංවාදයක නිරත වී ඇති බව දුරකතන දත්ත වාර්තා ඔස්සේ හෙළිවී ඇති බවයි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කියා සිටියේ.

වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට සහ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ සාමාජික ආමි මොහිදීන් නමැත්තා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පාසි කුඩා ගිය අවස්ථාවට මෙම නන්දලාල් නමැත්තා සහභාගීවී සිටි අතර ආමි මොහොදීන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ දුරකතනයේ තිබී සොයාගත්තේ නන්දලාල් නමැත්තාගේ ඡායාරූපයක් බවයි මෙහිදී හෙළි කෙරුණේ. මාධ්‍ය හමුවේ තමන් කළ ප්‍රකාශය දේශපාලනිකව මඩ ගැසීමට අවභාවිතා කළ බවට මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ අවස්ථාවේ කොමිසම ප්‍රශ්න කළේ ඔබ මාධ්‍ය හමුවේ නොකී දෙයක් ප්‍රචාරය කර තිබුණේ ද යන්නයි.  තමන් කී දේ පමණක් මාධ්‍ය ප්‍රචාරය කළ බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ අතර එසේ නම් දිගින් දිගටම මාධ්‍ය විවේචනය කිරීම සාධාරණ දැයි විනිසුරුවරයා ප්‍රශ්න කළා. මෙම ප්‍රහාරය පිළිබද බොහෝ පාර්ශ්ව දැනුවත්ව සිට ඇති බවට කරුණු හෙළිවී ඇති පසුබිමක පල්ලිය පමණක් කිසිවක් නොදැන සිටි බව තමන් විශ්වාස නොකරන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

සෑම වසරක ම පාස්කු ඉරුදින උදෑසන දිව්‍ය පූජාව පවත්වන පසුබිමක පසුගිය වසරේ පමණක් කාදිනල් හිමිපාණන් එම දිව්‍ය පූජාව නොපවත්වන ලද්දේ උන්වහන්සේ ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත්ව සිටි නිසාදැයි සෙවීමට විමර්ශනයක් කළ යතු බව හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියා. අගරදගුරු හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ ශමිල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ අගරදගුරු හිමියන් සෑම වසරක ම පාස්කු දේව මෙහෙය පවත්වන්නේ පාස්කු ඉරුදිනට පෙර සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රියේ බවයි.

පසුගිය වසරේ ද අප්‍රේල් 20 වන දින මධ්‍යම රාත්‍රියේ කාදිනල් හිමිපාණන් කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුරේ දී එම දිව්‍ය පූජාව පැවැත් වූ බව ද නීතිඥවරයා ප්‍රකාශ කළා. ඒ පිළිබද තමන් නොදැන සිටි අතර  තමන් කළ ප්‍රකාශය පදනම් විරහිතව හුදෙක් මනසට ආ පමණින් සාක්ෂි නොහැතිව ප්‍රකාශ කළේ යැයි පිළිගන්නා බවයි ඔහු කියා සිටියේ.

Leave A Reply

Your email address will not be published.