දෙසැම්බර් වෙද්දි නායකත්වය භාරගන්න මම ලෑස්තියි – රුවන් විජේවර්ධන

දෙසැම්බර් මාසය වන විටත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශ්වාසය තමාට හිමි වුවහොත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාරගැනීමට තමා සුදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඊයේ (14) කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ පැවති රහස් ඡන්දයෙන් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට තේරී පත්වූ ඒ මහතා අද (15) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

තමාට පක්ෂය වෙනුවෙන් සිදුකිරීමට විශාල කැපකිරීමක් කළ යුතුව ඇතැයි ද පැවසූ ඒ මහතා, රටේ ජනතාවගේ විශ්වාසය නැවත වතාවක් දිනාගැනීමට සිදුවන බව ද පැවසීය.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීම තම බලාපොරොත්තුව බව ද පැවසූ රුවන් විජේවර්ධන මහතා, පක්ෂයේ සියලු නායකයන් එකතු කර ගනිමින් ඉදිරි ගමන යාමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේ ය.

සමගි ජන බලවේගයේ සමහර අය මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බව ද පැවසූ ඒ මහතා ඔවුන් ද පක්ෂයට ආදරය කළ අය බැවින් ඔවුන් සමග එක් ව ඉදිරියට යාමට සුදානම් බව ද වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.