තවත් මහා පරිමාණ වන විනාශ දෙකක්

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මායිමේ ඇති රත්මලේ රක්ෂිතයේ අක්කර 150කට අධික ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් එළිපෙහෙළි කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ එම දැවැන්ත වන සංහාරය වන සංරක්ෂණ නිලධාරීන්ගේ සහය ඇතිව සිදුවන බවයි..

මේ ගැන අදාළ අංශ වෙත පැමිණිලි කළ ද, මේ පිළිබඳ තවමත් අදාළ බලධාරීන්ගේ අවධානය යොමුව නොමැති බව ප්‍රදේශවාසීහු චෝදනා කරනව.
මාස ගණනාවක සිට යාන්ත්‍රික කියත් උපයෝගි කරගනිමින් මෙම වන සංහාරය සිදුකර ඇති බව වාර්තා වේ.

ඇතාබැඳි වැව, කඩවක යන ගම්මානවලට මායිම්ව පිහිටා ඇති එම රක්ෂිතයේ ඇති වීර, පළු, මෝර, කැටකෑල, දඹ, කෝන්, විල්ල වැනි වටිනා ශාක රැසක් කපා දමා පුළුස්සා ඇති බවත්, ඇතැම් ගස් දැවවලට ඉරා රැගෙන ගොස් ඇති බවත් ප්‍රදේශවාසීන් පෙන්වාදෙනවා.

මේ අතර උඩවලව රක්ෂිතයට අයත් ඉඩම් අක්කර 40 ක පමණ ප්‍රමාණයක් ඩෝසර් කර මහා පරිමාණ විනාසයක් සිදුකර ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

අලින්, මුවන්, ගෝනුන් ඇතුළු වන සතුන් ජීවත්වන ප්‍රදේශයක් මෙලෙස හෙලි පෙහෙලි කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

මෙම විනාශය සිදුව තිබෙන්නේ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝධාගම ග්‍රාම නිලධාරී කොට්ඨාසය තුලයි.

මේ සම්බන්ධයෙන් වනජීවි කාර්යාලය, පොලිසිය දැනුවත් කළ ද එය නවතා ගැනීමට නොහැකි වූ බවද ප්‍රදේශවාසී පවසනවා.

Leave A Reply

Your email address will not be published.