එජාප මීළඟ නායකයා රුවන් විජේවර්ධන..? පත් කිරීම අද!

අද (14) එක්සත් ජාතික පක්ෂයේ අලුත් නායකත්වයට සම්බන්ධ තීරණාත්මක වෙනස සිදු කරනු ඇති බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ. ඒ අනුව අද වික්‍රමසිංහ පරම්පරාවට සම්බන්ධ තරුණ නායක රුවන් විජේවර්ධන එජාපයේ නියෝජ්‍ය නායක දක්වා උසස් කෙරෙන අතර මාස 3ක වැඩ කාලසීමාවකින් පසු 2021 ජනවාරියේ සිට එජාප නායකයා ලෙස ඔහු තවදුරටත් උසස්වීම් කර පත් කිරීමට නියමිත බව අභ්‍යන්තර දේශපාලන වාර්තා සඳහන් කර තිබේ.

අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පවත්වන විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි එක්සත් ජාතික පක්ෂයේ හිස්ව ඇති සියලු ම තනතුරු වෙනස් කෙරෙන බව ද මේ අතර වාර්තා වේ. පක්ෂ නායක රනිල්ට හිමි වරප්‍රසාද බලය අනුව ඡන්ද විමසීමකින් තොරව අද (14) මෙම තෝරා පත් කර ගැනීම් සිදුවන බවද වාර්තාවේ.

එහි දී නියෝජ්‍ය නායක, සභාපති, භාණ්ඩාගාරික ඇතුළු තනතුරු කිහිපයකට සුදුස්සන් පත් කිරීමට නියමිතය.

පක්ෂයේ සියලු ම වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන, කාන්තා සංවිධාන, විද්වත් සංවිධාන ඇතුළු සියලු සංවිධාන ද කඩිනමින් ගොඩගැනීම ද පත්වන නියෝජ්‍ය නායකයාට පැවැරෙන වගකීමක් වෙයි.

මෙලෙස පුරප්පාඩුවලට පත් වන සුදුස්සන් දෙසැම්බර් මාසය අවසන් වන තුරු කටයුතු කර නියෝජ්‍ය නායකත්වයට පත් වන රුවන් විජේවර්ධන ජනවාරි මාස පළමු වැනිදා සිට නායකත්වයට පත් කිරීමට ද එක්සත් ජාතික පක්ෂ වත්මන් නායක රනිල් වික්‍රම සිංහ තීරණය කර ඇත.

දේශපාලන රාජ වංශයක උපත ලැබූ රුවන් විජේවර්ධන  රංජනී සේනානායක සහ රංජිත් විජේවර්ධන (විජය පුවත්පත්වල සභාපති)ගේ බාල පුත්‍රයා ය. ඔහුගේ මවගේ සීයා, මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා වන අතර ඔහුගේ පියාගේ සීයා ඩී. ආර්. විජේවර්ධන මහතායි. එජාපයේ වත්මන් නායක රනිල්ගේ මවගේ පියා හෙවත් රනිල්ගේ සීයා වන්නේ ද ඩී. ආර්. විජේවර්ධන මහතායි. ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ. ආර්.ට නෑකමින් රුවන් විජේවර්ධන බෑනා වේ.

රුවන් විජේවර්ධන සිය ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ දී සම්පූර්ණ කළේය. ඉන්පසු ඔහු එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරූ අතර එහිදී ඔහු ශාස්ත්‍රවේ දී උපාධියක් ලබාගත්තේය.

2009 දී බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වී මන්ත්‍රී ධුරයක් දරා සිය පළමු දේශපාලන තනතුර ලබාගත් රුවන් 2010 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට පැමිණියේය. ආරක්ෂක රාජ්‍ය ඇමති වශයෙන් පසුගිය යහපාලන රජයේ කටයුතු කළේය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා වනු ඇත.

Leave A Reply

Your email address will not be published.