ගව මස් කෑම අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක්.. ගව ඝාතන තහනමට විරුද්ධව උසාවි යනවා.. – සිලෝන් තව්හිද් ජමාද් සංවිධානය

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීමට විරුද්ධත්වය පළ කරන බවත්, ඊට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් සිලෝන් තව්හිද් ජමාද් සංවිධානය සඳහන් කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමට මෙම යෝජනාව ඉදරිපත් කර සම්මත කර ගත්තේ කුමන කාරණාව පදනම් කරගෙනදැයි තවමත් නොදන්නා බව එම සංවිධානයේ සංවිධායක අබ්දුල් රාසික් පවසයි. කිසියම් ආගමක් හෝ ජාතියක් ඉලක්ක කරගෙන මෙම තහනම පනවන්නට උත්සාහ කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධි යැයි ද ඔහු පැවසීය.

ප්‍රාණඝාතය නොකළ යුතුය කියා කිසියම් ආගමක ඇත්තේ නම් එය ගව ඝාතනය තහනම් කිරීමට පමණක් සීමා නොවී මෙරට සියලු සත්ත්ව ඝාතනය තහනම් කළ යුතු බවත් ඔහු යෝජනා කරයි.

ඉස්ලාම් ආගමිකයන්ට ඉස්ලාම් ආගම විසින් අනුමත කර ඇති ගව මස් ආහාරයට ගැනීමට අයිතියක් ඇති බවත්, ඒ නිසා ගවයන් ඉලක්ක කරගෙන ගව ඝාතනය පමණක් තහනම් කිරීම තම අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් ඔහු පෙන්වා දෙයි. කිසියම් ජන කොට්ඨාසකගේ පරිභෝජන අයිතියට විරුද්ධවීමට තවත් කිසිවකුට අයිතියක් නැතැයි ද ඔහුගේ අදහසයි.

ඉස්ලාම් ආගමිකයන් ලෙස ඌරු මස් කෑම තහනම් කර ඇතත් තමන් කිසිදු අවස්ථාවක වෙනත් ආගමිකයන්ට ඌරු මස් කෑම තහනම් කරන්නැයි ඉල්ලා නැත්තේ ඔවුන්ට ඒ අයිතිය ඇති නිසා යැයි ද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹ දි පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave A Reply

Your email address will not be published.