ගව මස් විකිණීමට බලපත්‍ර ලබා නොදෙන්න මාතලේ ප්‍රාදේශීය සභාව තීරණය කරයි

මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මින් ඉදිරියට ගවමස් අලෙවි කිරීම සදහා අලුතින් බලපත්‍ර ලබා නොදෙන බවටවූ යෝජනාවක් ඊයේ පැවති මාසික මහ සභා රැස්විමේ දී ඒකමතිකව සභා සම්මතවී තිබෙනවා.

සභාපති කපිල බණ්ඩාර හෙන්දෙණියගේ ප්‍රධානත්වයෙන් මාතලේ පලාපත්වල පිහිටි සභා රැස්වීම් ශාලාවේ දී මාසික සභා රැස්වීම පැවැත්විය.

මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මඩවල උල්පත කැටවල ප්‍රදේශයේ එළ ගවමස් කඩයක් දැමීම සදහා බලපත්‍රයක් ලබාදෙන ලෙස ඉල්ලා සභාව වෙත යොමු කර තිබූ ලිපියක් සාකච්ඡාවකට ගත් අවස්ථාවේ දී මෙම යෝජනාව සිදු කෙරුණා.

මෙහිදී මෙම යෝජනාව ගෙන එමින් අදහස් දැක්වූ මන්ත්‍රී වසන්ත ජයවර්ධන කියා සිටියේ අගමැතිවරයා විසින් මස් පිණිස ගවයන් ඝාතනය කිරීම නවතා දැමීමට තීරණයක් ගෙන ඇති බවත් ඒ තත්ත්වය මත සභාවක් ලෙස මෙවැනි තිරණ ගැනීම යෝග්‍ය නොවන බවයි.

මේ නිසා බල ප්‍රදේශයේ මස් සදහා ගවයන් ඝාතනය කිරීම සහ මස් අලෙවි කිරීමට නව බලපත්‍ර ලබා නොදිය යුතු බවටවූ යෝජනාවක් තමන් විසින් ගෙන එන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

යෝජනාව ස්ථිර කරමින් කතා කළ උප සභාපති ටී. ජී. දිසානායක කියා සිටියේ පළමුවෙන් ඉල්ලන්නේ එළ ගවයින් මරන්න. පස්සේ මී හරකුත් මරනවා. ඒ නිසා අලුතින් මස් කඩ දැමීම සදහා ඉඩ ලබාදිය නොහැකි බවයි.

අදහස් දැක්වූ විපක්ෂ නායක (එ.ජා.ප) ගාමිණී කොස්තා ප්‍රකාශ කළේ අගමැතිවරයා විසින් ගෙන ලැබූ තිරණය ෆෙස්බුක් මගින් දක්නට ලැබුණු බවත්, එහි නිත්‍යාණුකුල භාවය පිළිබදව විමිසීමට ලක් විය යුතු බවත්, සභාවක් ලෙස අප මේ පිළිබදව අලුතින් බලපත්‍ර ලබා නොදෙන බව ද පවසා සිටියා.

සභාපති කපිල බණ්ඩාර හෙන්දෙණිය කියා සිටියේ සභා බල ප්‍රදේශයේ අලුතින් මස් කඩා සදහා බලපත්‍ර ලබා නොදීමට මීට පෙර ද තීරණයක් ගෙන ඇති බවත්, සභාවේ සම්මතවූ පරිදි අලුතින් බලපත්‍ර ලබා නොදීමට තීරණය කර ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.