පාස්කු ජනාධිපති කොමිසමේ ඥානසාර හිමිගේ සාක්ෂි දීම මවුලවිවරයෙක් පටිගත කරලා!

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සාක්ෂි ලබාදීම සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ වැඩ බලන ලේකම්වරයෙක් දුරකතනයකින් පටිගත කිරීමේ සිදුවීමක් ඊයේ (09) දිනයේ වාර්තාවී තිබේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සාක්ෂි ලබාදෙන තොරතුරු මෙලෙස පටිගත කර ඇති බව ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ පස්වරුවේ පෙනී සිටියේය. උන්වහන්සේ මීට පෙර ජනාධිපති කොමිසම හමුවේ ලබා දී තිබූ සාක්ෂියට අදාළව හරස් ප්‍රශ්න විමසීමට මෙහිදී අවස්ථාව ලබා දී තිබූ අතර සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය මුස්ලිම් සංවිධාන ඇතුළු පාර්ශ්ව 10ක් ජනාධිපති කොමිසමෙන් කර තිබූ ඉල්ලීමකට අනුව මෙම කැඳවීම සිදුකර තිබුණි.

කෙසේ වෙතත් ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම ආරම්භ වී පැය දෙකක පමණ කාලයක් ගත වන විට ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරින් කොමිසම සභාව ඇතුළත රැඳී සිටි පුද්ගලයෙකු සැකකටයුතු ක්‍රියාවක යෙදී සිටීම හේතුවෙන් පිටතට ගනු ලැබීය. අදාළ පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණයවී ඇත්තේ කොමිෂන් සභාව තුළ සිදු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සාක්ෂි විමසීම ජංගම දුරකතනයෙන් පටිගත කළ බව ය.

එම පටිගත කිරීම සිදුකර ඇත්තේ සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ වැඩ බලන ලේකම්වරයෙකු වන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි මර්ෂිඩ් නමැති පුද්ගලයෙකු බව කොමිසමේ පොලිස් ඒකකය සඳහන් කළේය.

දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ක්‍රියාත්මක වන පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසමට බාහිර පුද්ගලයන්ට දුරකතන රැගන යාම පසුරා තහනම් වන අතර නීතිඥවරයෙකු මාර්ගයෙන් කොමිෂන් සභා පරිශ්‍රයට සිය ජංගම දුරකතනය ගෙන ගොස් ඇති බව සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණයවී තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් ඒකකය විසින් ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ඇතුළු කොමසාරිස්වරුන් දැනුවත් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව කොමිසමේ සභාපතිවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය නියෝජනය කළ නීතිඥවරුන්ට සිය බලවත් අප්‍රසාදය පළ කළ අතර පටිගත කිරීම සිදුකළ පුද්ගලයාගෙන් වහාම ප්‍රකාශයක් ලබාගන්නා ලෙස ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට දැනුම් දී තිබේ.

Leave A Reply

Your email address will not be published.