සමලිංගික සම්බන්ධතා නිසා මෙරට තරුණයන්ට HIV ආසාදනය වැඩි වෙලා..

මේ වනවිට සාමාන්‍ය සමාජය තුළ හඳුනා නොගත් එච්.අයි.වී. ආසාදිතයන් 1600ක් පමණ සිටින බැවින් රාත්‍රී සමාජ ශාලාවල රැකියා කරන්නන්, ලිංගික ශ්‍රමිකයන්, මෙරට වීසා ඉල්ලුම් කරන විදේශිකයන් හා රුධිර පරිත්‍යාග කරන්නන් ඇතුළුව අවදානම් තත්ත්වයේ පසුවන පුද්ගලයන් වහා අදාළ රුධිර පරීක්ෂාවන් සිදුකරගත යුතු බව ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසයි.

මේ වනවිට ඇස්තමේන්තු කොට ඇති මෙරට සිටින ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව 3600ක් පමණ වන වේ. එයින් 2000ක් පමණ හඳුනාගෙන ඇති අතර හඳුනා නොගත් පිරිස නිදැල්ලේ හැසිරීමෙන් සමාජයේ සිටින නිරෝගී පුද්ගලයන්ට ද මෙය වැලඳීමේ අවදානම වැඩි බැවින් පෙර කී පුද්ගලයන් පරීක්ෂාවට ලක්විය යුතු බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

වසර පහ හයක කාලයක සිට වයස අවුරුදු 15ට වැඩි පිරිමින් අතර එච්.අයි.වී. ආසාදනයවීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂවරිය පවසයි.

2020 වසරේ ජුනි මාසය වනවිට නව ආසාදිතයන් 185දෙනකුත් වාර්තාවී තිබේ. ඉන් විසිතුන් දෙනකු වයස අවුරුදු 15, 24 අතර වයස් කාණ්ඩයට අයත් බව ද ඇය සඳහන් කරයි. 2019 වසරේ දී මෙරටින් නව ආසාදිතයන් තුන්සිය එක් දෙනකු වාර්තාවී තිබේ.

එමෙන්ම මෙරට තරුණ පිරිමින්ට එච්.අයි.වී. ආසාදනය වැඩිවීමට ප්‍රධාන හේතුව සමලිංගික සම්බන්ධතා බව ඇය වැඩිදුරටත් සදහන් කරයි. 2019 වසර තුළ දී අලුතින් වාර්තා වූ එච්.අයි.වී. ආසාදිත පිරිමින් සියයට පනස් හයකට වෛරසය ආසාදනයවී ඇත්තේ අනාරක්ෂිත සමලිංගික සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් ය. ඒ අතර පාසල් ළමුන් බහුතරයක් වන බව ද ඇය පෙන්වා දෙයි.

Leave A Reply

Your email address will not be published.