වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි අයෙක් අත්අඩංගුවට.. ඔහු දරුවන් 14කගේ පියෙක්..

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් හැටන් ඇතුළු අවට ප්‍රධාන නගරවල රෝගීන්ට වෛද්‍ය උපදෙස් ලබාදුන් පුද්ගලයෙකු හැටන් පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයට ලද පැමිණිල්ලක් මත එම භාරකාර මණ්ඩලය විසින් ඒ සම්බන්ධයෙන් හැටන් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු අදාළ ව්‍යාජ වෛද්‍යවරයාව හැටන් පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

හැටන් හජිරාපුර ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන සතියට එක් වතාවක් පුත්තලමේ සිට පැමිණි මෙම ව්‍යාජ වෛද්‍යවරයා නිල චිකිස්සාවෙන් විවිධ රෝග සදහා ඖෂධ ලබා නොදී පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් රෝගීන්ට උපදෙස් ලබා දී රෝගියෙකුගෙන් රු. 800ක් ද අය කර ඇති බවයි පොලීසිය විසින් කරන ලද මූලික විමර්ශනවල දී අනාවරණයවී ඇත්තේ.

හැටන් පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට යනවිට එම ව්‍යාජ වෛද්‍යවරයාගෙන් වෛද්‍යය උපදෙස් ලබා ගැනීමට රොගීහු විශාල පිරිසක් එම නිවසේ රැදී සිටියහ.

ව්‍යාජ වෛද්‍යවරයාගෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට පැමිණෙන රෝගීන් හරහා අත්පත්‍රිකා ද බෙදා දෙමින් මෙම ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබේ.

පුත්තලම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සැකකරු දරුවන් 14දෙනෙකුගේ පියෙකු බවත්, ඔහු සතුව නිල චිකිස්සක වෛද්‍යවරයෙක් ලෙස පෙනීසිටීමට කිසිදු පිළිගත් ආයතනයකින් නිකුත් කරන ලද  සහතිකයක් හෝ අවසර පත්‍රයක් නොතිබුණු බවයි හැටන් මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එස්. පලීපාන මහතා මාධ්‍යට සදහන් කළේ.

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපති ඒ.ජේ.එම්. ෆසිර් මොහොමඩ් මහතා ද කියා සිටියේ මෙම ව්‍යාජ වෛද්‍යවරයා හැටන් ප්‍රදේශයට පැමිණ වෛද්‍යය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට තම භාරකාර මණ්ඩලය දැනුවත් නොකළ බවත්, එම ව්‍යාජ වෛද්‍යවරයා දිනකට රොගීන් 80දෙනෙකු පමණ පරීක්ෂා කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් හැටන් ප්‍රදේශයේ ජනතාවගෙන් තම භාරකාර මණ්ඩලයට ලද පැමිණිල්ලක් මත සැකකරු සම්බන්ධයෙන් හැටන් පොලීසියට පැමිණිල්ලක් සිදු කළ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර සැකකරුට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හැටන් මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.