එජාපයේ 74 වැනි සංවත්සරය වෙනුවෙන් හරින් තැබූ ෆේස්බුක් සටහන

පක්ෂය දිනවීමට හැකි තරුණ නායකත්වයකට එය භාර කිරීමට වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට හැකියාව ලැබේවා යනුවෙන් තමන් ප්‍රාර්ථනා කරන බව සමගී ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂයේ 74 වන සංවත්සරය වෙනුවෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන පහතින්,

එක්සත් ජාතික පක්ෂයේ 74 වෙනි සංවත්සරය වෙනුවෙන්,

මම දේශපාලනය හදුනාගත් මම දේශපාලනය ඉගෙන ගත් පක්ෂය, එක්සත් ජාතික පක්ෂයයි.
පළමුවෙන්ම මම එක්සත් ජාතික පක්ෂයේ 74 වෙනි සංවත්සරයට සුබ පතමි.

2000 වසරේ පක්ෂයේ ක්‍රියාකාරිකයකු ලෙස ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වූ මට 2004 වසරේ දී බදුල්ල ප්‍රචාරක ලේකම්වරයා වශයෙන් සහ පසුව 2006 වසරේ දී බදුල්ල ආසන සංවිධායකවරයා වශයෙන් ද අතිවිශාල සේවයක් එක්සත් ජාතික පාක්ෂිකයා වෙනුවෙන් කරන්නට හැකිවීම ගැන සතුටු වෙමි.

එවකට දිනෙන් දින ප්‍රජාතන්ත්‍රවාදය වැලලෙමින් යන සමයක එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් මම මාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය ද කැප කරමින්, ඌව පළාත් සභා මැතිවරණය සදහා ඉදිරිපත් වූයේ ද ආදරණීය පාක්ෂිකයන් වසර ගණනාවක් බලාසිටි විජයග්‍රහණයක් ඉන් අනතුරුව ලබාදීමට මුල් පියවරක් වශයෙනි. අප එම වගකීම ද ඉෂ්ට කළෙමු.

අද මට තවත් විශේෂ දිනයකි.ඒ එවකට පක්ෂය බෙදී වෙන් වී අර්බුද රැසක තිබූ අවධියක එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සහ වත්මන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රෙමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව සියලෙුම භේද පසෙකලා එකම වේදිකාවකට කැදවන්නට හැකි වූයේ අද වැනි දිනයක දී ය. ඊට මුල්වී ක්‍රියා කරන්නට මට හැකීවීමත් පක්ෂයේ සමගිය ආරක්ෂා කරන්නට හැකිවීමත් ගැන මට ඇති වූයේ සතුටකි. ඒ සියල්ල හරහා පක්ෂයේ කිසිදු තනතුරක් හෝ බලාපොරොත්තු නොවූ මාගේ එකම අරමුණ වූයේ එක්සත් ජාතික පාක්ෂිකයා දිරිමත් කිරීමයි. වසර ගණනාවක් ඔවුන් තුළ තිබූ සුබ සිහිනය සැබෑ කරලීමයි.

ඌවෙන් පටන්ගත් සටන අපි අවසාන කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙන් ය. නමුත් ඒ වසර ගණනක උත්සාහය ව්‍යර්ථ විය. පෞද්ගලිකව මා හට කොතරම් තනතුරු අමාත්‍ය ධුර පක්ෂ නායකත්වය විසින් ලබාදුන් නමුත් අහිංසක එක්සත් ජාතික පාක්ෂිකයා ගැන සොයා බලන්නට ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් යමක් කරන්නට පක්ෂ නායකත්වයට කිසිදු විටෙක අවශ්‍යතාවක් නොවීම කනගාටුවට කරුණකි.

කෙසේ නමුත් 2018 වසරේ ඔක්තොබර් මාසය ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කළු දවස් 52ක ආරම්භයක් විය.එදා රටපුරා සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් රැස් කරමින් යුක්තියේ හඬ සහ යුක්තියේ ‍යාත්‍රා ආරම්භ කරමින් “අපි UNP ” සමාජ ජාල මෙහෙයුම හරහා රටේ බහුතරයක් තරුණ තරුණියන් එකතුකරමින් සම්බන්ධීකරණ කරමින් ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමට එරෙහිව රටක් අවදිකරන්නට මා හට හැකියාව ලැබුන බව කිව යුතුය. එදා දින ගනන් අප අවදියෙන් සිටිමින් වෙහෙසුණේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් පක්ෂයේ අනාගතයත් රැකීම වෙනුවෙන්‍ ය.

කෙසේ නමුත් එදා පක්ෂය රකින්නට පෙරට ආව ලක්ෂ ගනණක් පාක්ෂිකයන් ගේ බලාපොරොත්තු සඵල කරන්නට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට නොහැකි විය. ඔවුන්ගේ හදවත් හදුනාගන්නට නොහැකි වූ බවක් පෙනුණි. 2015න් පසු ජයග්‍රහණය කලත් නායකත්වයේ දුර්වලතා මත අපට අහිමිවූ දක්ෂ දේශපාලකයන් රසක් සිටී. තව ද එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස් කොතරම් හොද වුණත් ඔහුට ඒවා සාර්ථකව ක්‍රියාත්මක කරගැනීමේ සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී තිබූ දුර්වලතා රැසක් පැනනැගුණි.ඒ හේතුවෙන් අපට නව ශක්තිමත් දූරදර්ශී නායකත්වයක් කරා යන්නට අවසානයේ අවස්ථාවක් උදාවුණි.

කෙසේ නමුත් පසුගිග මැතිවරණ ප්‍රතිඵලයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ පරාජය සුළුපටු නොවෙයි. ලංකාවට නිදහස ගන්න මුල් වුන් මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා විසින් නිර්මාණය කළ ලංකාවේ විශාලතම පැරණිම පක්ෂය සහ පෞද්ගලිකව මාගේ දේශපාලන පාසල වූ පක්ෂය එලෙස පරාජයට පත්වීම සම්බන්ධයෙන් දුකක් මිස සතුටක් නොමැත.

කෙසේ නමුත් කිසිම විටෙකවත් මා පක්ෂය හැරගියා කියා නොසිතන අතර 74 වෙනි සංවත්සරය සමරන අවස්තාවේ දී මාගේ ප්‍රාර්ථනය වන්නේ පක්ෂයේ ඉතිහාස නායකයන්ගේ අභිමානය රැකෙන පරිදි ඔවුන්ගේ දර්ශනය ඉදිරියට ගෙන යා හැකි එක්සත් ජාතික පක්ෂය දිනවීමට හැකි ශක්තිමත් නායකත්වයකට පක්ෂය භාරදීමට වත්මන් නායකත්වයට හැකි වේවා යන්නයි.

තව ද වසර 74කට පසුව මෙවර පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයකු නොමැතිවීම ගැන මා අතිශය කනගාටු වෙමි. විශේෂයෙන් කිව යුතු තවත් කාරණයකි. එනම් පෞද්ගලිකව මා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග කිසිදු ගැටීමක් හෝ අමනපයක් නොමැති අතර එතුමාට අද ද ඒ ආකරයෙන්ම ගෞරව කරන බව ද කිව යුතුමය. නමුත් එතුමාගේ තිබූ මා පෙර කී දුර්වලතා හේතුවෙන් අද තවමත් එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට නම් කරගැනීමටවත් හැකිවී නැත. කෙළින් තීරණ නොගැනීම හේතුවෙන් පක්ෂය තව තවත් අර්බුදවලම ගිලෙමින් තිබෙනු දක්නට ඇත.

මාගේ වසර විස්සක පමණ කෙටිකාලීන ක්‍රියාකාරී දේශපාලන කාලය තුළ 2006 බදුල්ල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් යුද්ධය අවසන්වී දින 10කින් පළාත් සභාවේ ප්‍රථමයාවී ජාතික දේශපලන ගමන ආරම්භ කළ මා හට දේශපලනයට මුල් ගුරු කම් දුන් එක්සත් ජාතික පක්ෂයට මා සදා ණය ගැති වන අතර ඊට සදා ආදරය කරමි.

Leave A Reply

Your email address will not be published.