ආනයනික භාණ්ඩවලින් පිරුණු රටක් වෙනුවට අපනයන වෙළෙඳපොළ ජයගත් මිනිසුන්ගෙන් පිරුණු රටක්…

ශ්‍රී ලංකාව මතු අනාගතයේ දී ආනයනික භාණ්ඩවලින් පිරුණු රටක් වෙනුවට අපනයන වෙළෙඳපොළ ජයගත් මිනිසුන්ගෙන් පිරුණු රටක් බවට පත් කිරීමට අවශ්‍ය තාක්ෂණය, ඊට අදාළ මානසිකත්වය හා සංස්කෘතිය නිර්මාණය කිරීමට කැප වන ලෙස කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ සියලු පිරිස් වෙතින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියි.

ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති ‘ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ සංකල්පය’ පිළිබඳව දේශීය රෙදිපිළි නිෂ්පාදකයන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවෙහි ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේය.

“කොරෝනා වසංගතයට පෙර දේශීය රෙදිපිළි නිෂ්පාදකයන් සමඟ පැවැති සාකච්ඡාවක දී ඔවුනට තම නිෂ්පාදන අපනයනය පිළිබඳව මතුව ඇති ගැටලු රැසක් සාකච්ඡාවට බඳුන් වූවා. ඒ අනුව ‘ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ සංකල්පය’ ඇතුළු අපනයනයට අදාළ දැනුම සහ අපනයන වෙළෙඳපොළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීමට මෙවැනි වැඩමුළුවක් මා විසින් යෝජනා කරනු ලැබුවා.

දේශීය රෙදිපිළි නිෂ්පාදකයාට අපනයන වෙළෙඳපොළ ජය ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ජනතාවාදී රජයක් ලෙස අප කළ යුතුව තිබුණා. අපනයන සංවර්ධන මණ්ඩලය සහ වෙනත් දේශීය රෙදිපිළි කර්මාන්තයට අදාළ ප්‍රවීණයන් පිරිසක් යොදා ගනිමින් ඒ වගකීම තමයි අපි මෙසේ ඉටු කරනු ලබන්නේ. අපේ රජය දේශීය රෙදිපිළි කර්මාන්තය පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන නිසා තමයි ඒ සඳහා වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් ද පිහිටුවනු ලැබුවේ. කර්මාන්ත විෂය භාර කැබිනට් අමාත්‍යවරයා ලෙස මට දැක ගත හැකියි, දේශීය රෙදිපිළි කර්මාන්තය පිළිබඳව පමණක් නොවෙයි. සියලු ග්‍රාමීය කර්මාන්තයන් කෙරෙහි විශාල ජනතා උද්යෝගයක් ඇති වී තිබෙන බව. දේශීය පාරිභෝගිකයා අද දේශීය නිෂ්පාදන මිලදී ගැනීමේ ප්‍රවණතාවක් ඇති වෙමින් තිබෙනවා. එම වාතාවරණය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ වගකීම අප වෙත පැවරී තිබෙනවා.

‘වාද අවකාශය යාවත්කාලීන නොවීම’

එම දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ මහා මෙහෙයුමේ දෙවන පියවර තමයි දේශීය රෙදිපිළි කර්මාන්තය ඇතුළු සියලු දේශීය කර්මාන්ත සඳහා අපනයන වෙළෙඳපොළ දක්වා යාමට අවශ්‍ය කරන උනන්දුව හා උද්යෝගය ඇති කර දීම. නමුත් අවාසනාවට ඊට අවශ්‍ය ‘වාද අවකාශය’ හෙවත් ‘සාකච්ඡාවල නිමිති’ යාවත්කාලීන වී නැහැ. අපේ රටේ මාධ්‍ය වුවත් තවමත් වඩා වැඩියෙන් උද්දීපනය කරන්නේ ඍණාත්මක සිදුවීම් පිළිබඳ ප්‍රවෘත්ති මිස මෙවැනි ‘දේශීය කර්මාන්ත පණ ගැන්වීම’ වැනි ධනාත්මක මාතෘකා සහිත ප්‍රවෘත්ති නෙවෙයි. ඒ නිසා කර්මාන්තකරුවා, ව්‍යවසායකයා දිරි ගන්වන, අපනයන වෙළඳපොළ ජයගන්නා දිරිය මිනිසුන් ගැන ප්‍රවෘත්තිවලට මාධ්‍යවලින් ලැබෙන්නේ අඩු ඉඩක්. අපරාධයක් සිදුවුවහොත් ‘හෙඞ් ලයින්’ දා ගන්න පුළුවන් වුවත් ව්‍යවසායකයකු අපනයන වෙළඳපොළේ විශාල පරාසයක් දිනා ගත්තා කියා ‘හෙඞ් ලයින්’ දාගන්න අපේ රටේ මාධ්‍යවල ඉඩකඩක් නිර්මාණය වී නැහැ. අන්න ඒ මාධ්‍ය සංස්කෘතියත් අපි වෙනස් කර ගත යුතුව තිබෙනවා.

‘අධ්‍යාපනය සහ දේශීය කර්මාන්ත’

මාධ්‍ය තුළ එවැනි වෙනසක් ඇති කළහොත් අපේ අනාගත පරපුර නව කර්මාන්ත බිහි කිරීම ගැන සිතාවි. එමගින් අපනයන වෙළෙඳපොළ ජය ගැනීමට සූදානම් වේවි. ඒ ‘ගුණය’ අපි ඇති කළ යුතුයි. මහින්ද රාජපක්ෂ පාලනය තාක්ෂණ විෂය ධාරාව උසස් පෙළ සඳහා හඳුන්වා දී පිරිසකට ඒ හරහා උසස් අධ්‍යාපනයට දොරටු විවෘත කර තිබෙනවා. එසේ අධ්‍යාපනය ලැබූ පිරිස් දැන් රැකියා වෙළෙඳපොළ වෙත එමින් සිටිනවා. නමුත් අපේ අධ්‍යාපනය තුළ දේශීය කර්මාන්ත පිළිබඳව පමණක් නොව කෘෂි කර්මාන්තය පිළිබඳව ද දක්වා තිබෙන අවධානය ප්‍රමාණවත් නැහැ. අපි පාසල් යන අවදියේ මැටි වැඩ, ලී වැඩ, ලෝහ වැඩ වැනි විෂයයන් තිබුණත් අද ඒ කිසිදු වැඩක් පාසල් විෂය ධාරාවේ නැහැ.

පාසල් අධ්‍යාපනය තුළින් දේශීය කර්මාන්ත පිළිබඳව දැනුම්වත් බවකින් යුත් දරුවකු බිහි කරනවා නම් ඔහු ත්‍රීවිල් රියදුරකු වීමේ දිසාවට ඇදී යන එකක් නැහැ. ඉමහත් උනන්දුවෙන් දේශීය කර්මාන්තකරුවකු වීමේ දිසාවට ගමන් කරාවි. එවැනි පෞරුෂයක් දරුවකු තුළ ගොඩනංවන අධ්‍යාපනයක් අද අපේ රටට උවමනා වී තිබෙනවා. සෑම ක්ෂේත්‍රයකම පූර්ණ ගුණාත්මක වෙනසක් සිදු වෙමින් තිබෙන මේ මොහොතේ දේශීය රෙදිපිළි කර්මාන්තය තුළ ද එවැනි වෙනසකට අවශ්‍ය ඥානය සහ දැනුම ලබා දීමට මෙම වැඩමුළුව සංවිධානය කළ නිලධාරී මහත්ම මහත්මීන්ට මාගේ කෘතවේදීත්වය පළ කරනවා.

‘අපේ රට මතු අනාගතයේ දී ආනයනවලින් පිරුණු රටක් වෙනුවට අපනයන වෙළඳපොළ ජයගත්තු මිනිසුන්ගෙන් පිරුණු රටක් බවට පත් කිරීමට අවශ්‍ය තාක්ෂණය, ඒ මානසිකත්වය, සංස්කෘතිය නිර්මාණය කිරීම සඳහා අපි සියලු දෙනාම කැපවෙමු’ කියා ඉල්ලා සිටිනවා”

මේ අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ගුණවර්ධන ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යාංශය

Leave A Reply

Your email address will not be published.