ලෙබනන් පිපිරීමෙන් මසකට පසුව සුන්බුන් අතර සිරවූ අයෙකු ගැන සහන කණ්ඩායම්වලට ලැබුණු හෝඩුවාව (VIDEO / PHOTOS)

ඉකුත් අගෝස්තු මස 04 වෙනිදා ලෙබනනයේ, බේරූට් අගනුවර පිහිටි ඇමෝනියම් නයිට්ට්‍රේට් ගබඩාවේ සිදුවූ පිපිරිමෙන් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන්වලට යටවී සිටින පුද්ගලයෙකුගේ බවට සැක කෙරෙන හෘද ස්පන්දන යැයි සිතන සංඥාවන් ග්‍රහණය කර ගැනීමට චිලී රාජයේ සහන සේවකයින් පිරිසක් සමත්ව තිබෙනවා.

චිලි සහන සේවකයන් විසින් ඊයේ දහවල් කාලයේ සිට මෙහෙයුම් දියත් කරනු ලැබුවේ ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා යොදාගන්නා සුනඛයන්ගේ ද සහය සහිතව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සහන සේවකයන් උදලු සහ දෑත් යොදාගනිමින් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් ඉවත් කිරිම සිදුකරමින් සිටියි.

චිලී සහන සේවා කණ්ඩායම් සතුව ඇති ශබ්ද තරංග ග්‍රහණය කිරීමේ උපකරණයක පළමුව මෙම හෘද ස්පන්දන සංඥාව හසුකර ගැනීමට සමත්ව ඇත.

ඊයේ දිනයේ දී එය මිනිත්තුවකට වාර 17-19 අතර වේගයෙන් හෘද ස්පන්දන සංඥාවන් ග්‍රහණය කර ගැනීමට හැකිවූ බවත් මේ වන විට එය ක්‍රමයෙන් මිනිත්තුවකට වාර 5-7ත් අතර අගයක් දක්වා පහත වැටී ඇති බව චිලී සහන සේවා නිලධාරීන් සඳහන් කර සිටිනවා.

මෙම මෙහෙයුම දියත් කරන ස්ථානය ආසන්නයේ ඊයේ දිනයේ සිට ලෙබනන් වැසියන් එරට හමුදාවන්ට එරෙහිව විරෝධතාවයන් දියත් කිරීම නිසා සිය ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට බාධා එල්ලවී තිබෙනවා.

ඉකුත් අගෝස්තු මාසයේ දී ඇතිවූ මෙම පිපිරිමෙන් පුද්ගලයන් 191දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 6,000කට අධික පිරිසක් තුවාල ලැබුවා.

Leave A Reply

Your email address will not be published.