චාල්ස්ගේ මරණය මිනීමැරුමක්.. නඩුව කඩිනම් කරන්න.. – නීතිපතිට ලිපියක්

ඝාතනයක් බවට සැක කෙරෙන සිය පුත්‍රයාගේ මරණය පිළිබඳව පැවැත්වෙන නඩු විභාගය කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස බ්‍රිතාන්‍ය ජාතික මේරියන් ඉන්ඩියා බෙයාර් නම් කාන්තාව නීතිපති දප්පුලද ලියේරා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර තිබේ.

මෙම නඩුව මේ වන විට මහෙස්ත්‍රාත් අධිකරණයක විභාග වෙමින් පවතින අතර, මේරියන්ගේ පුත්‍රයා 2017 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඔහුගේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ය. ඔහු ප්‍රතිකාර වෙනුවෙන් යොමුව ඇත්තේ කළුතර පිහිටි ඔස්ට්‍රේලියානු පුනරුත්ථාපන මධ්‍යස්ථානය මෙරට ශාඛාවක් වෙත ය. 37 හැවිරිදි චාල්ස් ජීවන් ​බෙයාර් නමැති මේරියන්ගේ පුත්‍රයාගේ සිරුර 2018 වර්ෂයේ ජනවාරි මාසයේ දී කොළඹ උද්‍යානයක දී සොයාගනු ලැබීය. චාල්ස්ගේ මරණයෙන් දින කිහිපයකට පසුව කළුතර අදාළ පුනරුත්ථාපන මධ්‍යස්ථානය වසා දමා එහි ප්‍රතිකාර ලැබූ සෙසු විදේශීය පුද්ගලයන් ඔවුන්ගේ රටවලට යවා ඇති බවත් එහි සිටි ඔස්ට්‍රේලියානු කාර්ය මණ්ඩලය ද ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඇති බව අනාවරණයවී තිබේ.

චාල්ස්ගේ මරණය මිනීමැරුමක් සේ සලකා පොලීසිය විසින් විමර්ශන මෙහෙයවා ඇත. මේ අතර අදාළ ඔස්ට්‍රේලියානු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේශීය හවුල්කරු ලෙස කටයුතු කළ ආයතනයකට එරෙහිව ද පොලීසිය වෙනම නඩුවක් ගොනු කර තිබේ.

චාල්ස්ගේ මෘත ශරීරය පිළිබඳව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණයවී ඇත්තේ ඔහුගේ හිසට සහ බෙල්ලට සිදුකළ පහරදීමකින් මරණය සිදුව ඇති බවයි.

මේ අතර පොලිස් වාර්තාවන්ට අනුව මෙම මරණයට කිසිදු ශ්‍රී ලාංකිකයකු සැක කෙරී නැත. චාල්ස්ගේ මව වන මේරියන් මෙම නඩුව මහාධිකරණයක් වෙත මාරු කර කඩිනම් කරන ලෙස නීතිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Leave A Reply

Your email address will not be published.