ඩීමෝහි, මහින්ද්‍රා ට්‍රැක්ටර් රථ සේවා වැඩසටහන මහ කන්නයට සැරසෙන ගොවීන්ට අත්වැලක් වෙයි

සෑම මහින්ද්‍රා Yuvo ට්‍රැක්ටර් මිලදී ගැනීමක් සඳහාම නොමිලේ රොටවේටරයක්

ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය සඳහා යාන්ත්‍රිකමය දායකත්වය සපයන ඩීමෝහි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය, එළඹෙන මහ කන්නය ඉලක්ක කරමින් එහි වාර්ෂික මහින්ද්‍රා ට්‍රක්ටර් රථ සේවා වැඩසටහන දියත් කර තිබේ. එම වැඩසටහන මගින් මහින්ද්‍රා පාරිභෝගිකයින් හට සිය ට්‍රැක්ටර් රථ සම්බන්ධ අලුත්වැඩියාවන් හා සේවා කටයුතු සිදු කර ගැනීමටත්, ඩීමෝ වෙතින් පිරි නැමෙන ආකර්ෂණීය වට්ටම් හා දීමනා හිමි කර ගැනීමටත් දැන් අවස්ථාව සැලසී තිබේ.

කන්නය පුරාම උපරිම කාර්යක්‍ෂමතාවයෙන් වැඩ කටයුතු කිරීමට හැකි වන පරිදි හා කල්පැවැත්මට හිතකර වන පරිදි ඕනෑම ට්‍රැක්ටර් රථයක නඩත්තු හා සේවාවන් සිදු කිරීම අවශ්‍ය බව ප්‍රකට කරුණකි. මෙවර මහ කන්නයට පෙර, මෙම සේවා වැඩසටහන මගින්, සිය ට්‍රැක්ටර් රථ පරීක්ෂා කරවාගෙන වාර්තාවන් ලබා ගැනීමට හා සුළු අලුත් වැඩියාවන් හා සේවාවන් කිසිදු වැඩ කුළියකින් තොරව සිදු කරවා ගැනීමට හැකියාව පවතී. ඒ, අමතර කොටස් වෙනුවෙන් ඩීමෝ වෙතින් පිදෙන ආකර්ෂණීය වට්ටම්ද හිමි කර ගනිමිනි. මෙම වැඩසටහනට සමගාමීව මහ කන්නය වෙනුවෙන් සැරසෙන ගොවීන් හට මහින්ද්‍රා Yuvo ට්‍රැක්ටර් රථ මිලදී ගැනීමේදී, නොමිලේ රොටවේටරයක් (Rotavator) පිරි නැමීමට ද, ඩීමෝ කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.

මහ කන්නය වෙනුවෙන් පැවැත්වෙන, මෙම මහින්ද්‍රා සේවා වැඩසටහන 2020 අගෝස්තු මස 11 වැනිදායින් ආරම්භ වන අතර, 2020 සැප්තැම්බර් මස 05 වැනිදායින් අවසන් වේ. මෙම සේවා වැඩසටහන අම්පාර, මොණරාගල, බදුල්ල, පොළොන්නරුව, අනුරාධපුර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම මෙන්ම මඩකලපුව,‍ වවුනියාව,‍ මුලතිවු, කිලිනොච්චි හා මන්නාරම ආදී  ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වගා කටයුතු සිදු කෙරෙන සෑම ප්‍රදේශයක්ම ආවරණය කරමින් පැවැත්වේ.

එමෙන්ම, මෙම සේවා වැඩසටහනට සම්බන්ධ වන සෑම ගොවි මහතකු හටම ස්වකීය වෛද්‍ය පරීක්ෂාවන් නොමිලේ සිදු කර ගැනීමටද ඩීමෝ අවස්ථාව සලසා දී තිබේ. සිය ට්‍රැක්ටර් රථය සම්බන්ධයෙන් සේවාවන් සිදු කෙරෙන අතරතුර ඔවුනට සුදුසුකම්ලත් වෛද්‍යවරුන් මගින් සිය සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කර ගැනීමටද එහිදී හැකියාව පවතී.

මෙම සේවා වැඩසටහන මගින් ඩීමෝ ටයර් සඳහා ආකර්ෂණීය වට්ටම් හිමි කර ගන්නා අතරතුර, WD-40 සහ  DIMO LUMIN වැනි අනෙකුත් නිෂ්පාදන මිලදී ගැනීමටද එහිදී ඉඩ සලසා තිබේ. ඒ හැරුණු විට, සේවා වැඩසටහනට සහභාගී වන්නන් සඳහා පැවැත්වෙන ක්‍රීඩා තරගවලට සහභාගී වී තෑගි හිමි කර ගැනීමටද ඩීමෝ අවස්ථාව උදා කර දී තිබේ. විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් වන්නේ, මහින්ද්‍රා පාරිභෝගිකයින් හට ආකර්ෂණීය පොළී අනුපාත යටතේ අවම මූලික ගෙවීමක් සහිතව මූල්‍ය සහය පිරිනැමීම සඳහා SDB බැංකුව වැනි මුල්‍ය ආයතන හා ඩීමෝ අත්වැල් බැඳගෙන තිබීමයි.

මෙම වැඩසටහන පිළිබඳව පැහැදිළි කරමින් ඩීමෝ හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විරංග වික්‍රමරත්න මහතා සඳහන් කළේ මෙවැන්නකි. “ශ්‍රී ලංකාවේ දේශීය කෘෂි කර්මාන්තය ඉහළ තලයකට නංවන අතරම, කෘෂි කර්මාන්තයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ඩීමෝ පෙරමුණ ගෙන කටයුතු කරනවා. වගකීමක් සහිත සමාගමක් වශයෙන් මේ ආකාරයේ සේවා වැඩසටහන් පවත්වා දීමනා පිරි නැමීම හා මූල්‍ය ආයතන සමග අත්වැල් බැඳගනිමින් කෘෂි ක්ෂේත්‍රයේ නිරත පිරිසට සහය වීම මගින්, ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රයට පිවිසීම සඳහා බොහෝ පිරිසක් දිරිමත් කෙරෙනවා.”

ඩීමෝහි කෘෂි යන්ත්‍රෝපකරණ අංශ ප්‍රධානී,‍ අමිල ද සිල්වා මහතා සඳහන් කළේ‍, “සිය නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නංවා ගනිමින් ගොවි මහතුන්ට නූතන කෘෂි ක්‍රමවේදවලට අනුගත විය හැකි වන පරිදි ඔවුන් දැනුවත් කිරීමටත්,‍ කෘෂි කර්මාන්තය සඳහා වැදගත් වන රොටවේටර් වැනි අනෙකුත් උපාංග පිරි නැමීමටත් මෙම සේවා වැඩසටහන මගින් අපට හැකියාව සැලසෙනවා.” යනුවෙනි.

“මහ කන්නය වෙනුවෙන් අපි මෙලෙස සූදානම් කරන්නේ ට්‍රැක්ටර් රථ පමණක් නොවෙයි. මහ කන්නයට සැරසෙන ගොවි මහතුන් සෞඛ්‍යය හා ශාරීරික වශයෙන් ශක්තිසම්පන්නව සිටීමත් ඉතාමත් වැදගත් කාරණයක්. මෙම සේවා වැඩසටහනට සහභාගී වන පිරිස සඳහා අපි, නොමිලේ වෛද්‍ය පරීක්ෂාවන් සංවිධානය කර තිබෙන්නේ ඒ නිසයි.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

තිරසර ව්‍යාපාරික ප්‍රවේශයන්ගෙන් සමන්විතව ශ්‍රී ලාංකිකයින් හට අඛණ්ඩව සේවාවන් සැලසීම හේතුවෙන්, මහින්ද්‍රා ට්‍රැක්ටර් සමග මෙන්ම අනෙකුත් කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සියල්ලම හඳුන්වා දෙමින්, වර්තමානය වන විට ශ්‍රී ලාංකික කෘෂි ප්‍රජාව හා ඉතා ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීමට ඩීමෝ වෙත හැකියාව සැලසී තිබේ.

Leave A Reply

Your email address will not be published.