ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් වාර්තා පොත් අතරට

ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ කඩුලු 600ක් දවාගත් ලොව පළමු වේග පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්වීමට එංගලන්ත කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සමත් වුණා.

ඒ, සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති තුන්වන හා අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය වූ ඊයේ දිනයේදීයි. පාකිස්ථාන කණ්ඩායමේ නායක අසාර් අලීගේ කඩුල්ල දවාගනිමින් ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලූ 600 සීමාවට ළඟා වුණා.

එම තරඟයේ පළමු ඉනිමේදී කඩුලූ 05ක් දවාගත් ඇන්ඩර්සන් දෙවන ඉනිමේදී දවාගත් කඩුලු ගණන 02ක්. ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 600 සීමාව පසුකර ගියේ ටෙස්ට් තරග 156කදීයි. ඒ අනුව ජේම්ස් ඇන්ඩර්සන් පසුවන්නේ ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ සිව්වන ස්ථානයේයි.

ටෙස්ට් කඩුලූ 800ක් දවාගත් ශී‍්‍ර ලංකාවේ මුත්තයියා මුරලිදරන් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් අතර පළමුවන ස්ථානයේ රැඳී සිටිනවා.

මේ අතර, එංගලන්තය සහ පාකිස්ථානය අතර පැවති තුන්වන හා අවසන් ටෙස්ට් තරගය නිමාවට පත් වුණේ විසඳුමකින් තොරවයි. එංගලන්තය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 08ක් දැවී ලකුණු 583ක් රැස් කළා. පාකිස්ථාන කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 273කට දැවී ගිය අතර දෙවෙනි ඉනිම වෙනුවෙන් තරගය අවසන් වන විට කඩුලූ 04ක් දැවී ලකුණු 187ක් රැස්කරගෙන සිටියා.

ඒ අනුව 1ට බින්දුවක් ලෙස එංගලන්ත කණ්ඩායමට ජය හිමි කර දෙමින් දෙරට අතර තරග 03කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය නිමාවට පත් වුණා.

Leave A Reply

Your email address will not be published.