අංගොඩ ලොක්කාගේ කුඩු බෙදූ උකුස්සා සොයාගනී

පාතාල කල්ලි නායකයෙකු ලෙස සැළකෙන “අංගොඩ ලොක්කා” විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් බවට සැක කෙරෙන උකුස්සෙකු අතුරුගිරිය පොලීසිය විසින් අද (30) සොයාගනු ලැබීය‍.

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේ දී ‍එම උකුස්සා සොයාගෙන තිබේ.

මෙහිදී අංගොඩ ලොක්කාගේ සමීපතමයන් දෙදෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

“කුස ඇලි මුහුදු උකුස්සා” නමින් හඳුන්වන මෙම උකුසු විශේෂයට කිලෝග්‍රෑම් 15ක පමණ බරක් ඔසවාගෙන යාමට හැකියාව ඇතැයි සැලකේ.

මේ වර්ගයේ උකුස්සන් විධානයන් අනුව කටයුතු කිරීම සඳහා පුහුණු කළ හැකි බව වනජීවි නිලධාරීන් පවසයි.

මේ අතර, අයිස් මත්ද්‍රව්‍ය සමග කැලණිය හා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දෙදෙනෙකු පොලීසිය විසින් අද (30) අත්අඩංගුවට ගත්තේය.

මේ අතර කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන කළමණාකරු හා කැලණිය ප්‍රාදේශීය සභාවේ ක්‍රීඩා නිලධාරියා අයිස් මත්ද්‍රව්‍ය සමග කැලණිය පට්ටිය හංදියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් පමණ සොයාගත් බව පොලීසිය පැවසීය.

මේ අතර කළුතර හීනටියංගල ප්‍රදේශයේ අධි තාක්ෂණික උපකරණ සහිතව පවත්වාගෙන ගිය නීති විරෝධී ස්කාගාරයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (29) වටලනු ලැබීය.

මෙහිදී කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයන් 09ක් ද අත්අඩංගුවට ගත්තේය.

මෙහිදී අවසරලත් මත්පැන්වලට සමාන මත්පැන්, ඒවා ඇසුරුම් කිරීමට යොදාගන්නා යන්ත්‍රෝපකරණ, මත්පැන් පිරවූ මිලිලීටර 180 බෝතල් 1000කට වැඩි ප්‍රමාණයක් සොයාගත් බව ද පොලීසිය පැවසීය.

එමෙන්ම මෙහිදී විකිණීමට සූදානම් කළ හා නොකළ මත්පැන් ලීටර් 4000ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර අද (30) මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසිකළ ජංගම දුරකතන 04ක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

එමෙන්ම මහර බන්ධනාගාරය තුළට විසි කළ ජංගම දුරකතන 2ක්, දුම්වැටි පැකට්ටුවක්, දුම්කොළ, හෙරොයින්, මත්පෙති සහ ලයිටරයක් ද අද (30) බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගත්තේය.

Leave A Reply

Your email address will not be published.