2012 දී නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවාගැනීමේ අසාමාන්‍ය වර්ධනයක් නිරීක්ෂණය කළා – හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී

2012 වසරේ දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවාගැනීමේ අසාමාන්‍ය වර්ධනයක් නිරීක්ෂණය කළ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පවසයි.

හිටපු බුද්ධි ප්‍රධානියා මේ බව ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

තුන්වන දිනට ඊයේ (29) ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් නිලන්ත ජයවර්ධන මහතා 2015 ජුලි මස 20 වන දින එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ රථවාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි නන්දන මුණසිංහ මහතාට යවන ලද බුද්ධි තොරතුරු ඇතුළත් ලේඛනයක් ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළේය.

එහි දැක්වුණේ 2003 වසර වන විට 2.4%ක් එනම් සිසුන් 203න් 05දෙනෙකු පමණක් ලෙස පැවති ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලීම් සිසුන් බඳවා ගැනීමේ සංයුතිය 2012 වන විට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබූ ආකාරයයි.

ඒ අනුව 2003 වර්ෂය වන විට 2.4%ක් ලෙස පැවති මුස්ලිම් සිසුන් බඳවා ගැනීමේ ප්‍රතිශතය 2012 වර්ෂය වන විට 25.24%ක් ලෙස අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබූ බවත් ඒ අනුව 2012 වර්ෂයේ දී මුස්ලිම් සිසුන් 78දෙනෙකු ශ්‍රී ලංකා නීති විද්‍යාලයට බඳවාගෙන තිබූ බවත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයා අනාවරණය කරන ලදි.

රාජ්‍ය බුද්ධි සේවය විසින් නිරීක්ෂණය කළ මෙම තත්ත්වයට හේතුව අධිකරණ අමාත්‍යංශය තුළ පැවති ගැටලුවක් බවත්, ඒ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ වූ ශ්‍රී ලංකා නීති විද්‍යාලය සහ අධිකරණ අමාත්‍යංශය තමා විසින් දැනුවත් කළ බවත් නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේය.

මෙහිදි ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ප්‍රශ්න කර සිටියේ මෙලෙස අසාමාන්‍ය ලෙස මුස්ලිම් සිසුන් බඳවාගැනීම වැඩිවීමට හේතුව කුමක් ද යන්න ය.

එහිදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා කියා සිටියේ ව්‍යාප්තවාදය සහ රටේ සුළුතර ජන කොට්ඨාසයක් බහුතරය සමග කරන අරගලයක් මෙයට මුල්වී ඇති බව තමා අනුමාණ කරන බව ය.

එබැවින් මෙම ප්‍රශ්නයට මුහුණදිය යුත්තේ බුද්ධියෙන් බව ද නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.

මේ අතර අදාළ ලේඛනය තුළ ඇති තවත් දැනුම්දීමක් ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කරමින් ජයවර්ධන මහතා කියා සිටියේ 2013 වර්ෂයේ දී ජමියතුල් උලමා සංවිධානය ආයතන 204ක භාණ්ඩ වර්ග 4500ක් සඳහා හලාල් සහතික නිකුත් කර තිබූ බව ය.

ඒ තුළින් 2013 වර්ෂය වන විට ජමියතුල් උලමා සංවිධානය මාසිකව රුපියල් මිලියන 1.5ක මුදලක් උපයාගත් බව ද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අනාවරණය කළේය.

Leave A Reply

Your email address will not be published.