විස්ඩන් කුසලානය කටුගෙට යවා පිටියට එන රිචඩ්ස් සහ බෝතම්

මේ දිනවල එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන ‘විස්ඩන් කුසලාන’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඉදිරියේදී බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි ක්‍රීඩක ශ්‍රීමත් විවියන් රිචඩ්ස්ගේ සහ හිටපු එංගලන්ත සුපිරි ක්‍රීඩක ඉයන් බෝතම්ගේ නමින් පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී ‘විස්ඩන් කුසලාන’ ක්‍රිකට් තරගාවලිය ‘රිචඩ්ස් – බෝතම්’ කුසලාන යනුවෙන් නම් කිරීමට තීරණය කර ඇත.

මේ දිනවල පැවැත්වෙන එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියෙන් පසු ‘විස්ඩන් කුසලානය’ විශ්‍රාම ගැන්වෙන අතර එය ලෝඩ්ස් හි පිහිටි එම්.සී.සී. ක්‍රිකට් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට යොමු කෙරෙනු ඇත.

තරගාවලියේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් මගින් සටහනක් තැබූ ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ‘එවැනි ඓතිහාසික ක්‍රිකට් තරගාවලියකට තමන්ගේ සහ ඉයන් බෝතම්ගේ නම් එක්කර ගැනීම ගෞරවයක්’ බව කියා තිබේ.

වසර 32කට පසුව එංගලන්තයට එරෙහිව එංගලන්තයේ දී ටෙස්ට් තරගාවලියක ජයක් ලබා ගැනීමේ සටනක නිරත වෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ ඊයේ (27 වැනිදා) කඩුලු 2ක් දැවී ලකුණු 10ක් රැස්කරගෙන සිටියේය.

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග එක බැගින් ජයගෙන තිබීම මත මෙම තරගයේ තීරණය තරගාවලියේ ජය තීරණය කරනු ඇත.

Leave A Reply

Your email address will not be published.