සංචාරක මණ්ඩලයේ මහා මිනිස් ජාවාරමක්!

සංචාරක අමාත්‍යශය සහ සංචාරක මණ්ඩලය එක්ව සිදු කරනා ලද මහා මිනිස් ජාවාරමක තොරතුරු මේ වනවිට අධිකරණය හමුවේ අනාවරණය වී ඇත. පුද්ගලයන් හතරදෙනකුගෙන් රුපියල් ලක්ෂ විස්ස බැගින් ලක්ෂ අසූවක මුදල් ලබාගෙන කැනඩාවට නීති විරෝධි ලෙස සංක්‍රමණය කරවීමේ ජාවාරමක් හෙළිදරව් වී ඇත්තේ අමාත්‍යංශයේ අතිරේක ලේඛම් දීපා ලාලනී සන්නසූරිය මහත්මියගේ මැදිහත්වීම මත ය.

මෙම  ජාවාරමට ඍජුව සම්බන්ධවූ බවට සැක කරන හිටපු අමාත්‍යවරයාගේ පුද්ගලික ලේඛම් ලාල් රත්නායක සහ රහීම් බායි යන අය අත්අඩංගුවට නොගෙන සිටීම සම්බන්ධයෙන් කොටුව අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ දැනට විමර්ශන කටයුතුවල යෙදී සිටිනා නිලධාරීන් ඉවත් කර වෙනත් නිලධාරීන් පිරිසක් පත් කරන ලෙස ය.

අදාළ අපරාධය සම්බන්ධව හිටපු අමාත්‍යවරයාගේ ලේඛම්වරියන් දෙදෙනකු වන ධනංජනී ජයශාන්ති සහ සුජීවා නන්දනී යන අයවලුන් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

මේ සම්බන්ධව සිදු කරන ලද විමර්ශනයේ දී හෙළිදරව් වූයේ මිනිස් ජාවාරම කලෙක පටන් සංචාරක මණ්ඩලයේ දූෂිත නිලධාරීන් පිරිසක් එකතුව සිදුකරන කටයුත්තක් බව ය.

පසුගිය යහපාලන රජය විසින් සංචාරක මණ්ඩලයට පත්කරනා ලද අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු මෙම මිනිස් ජාවාරම සදහා පරිසරය සකසන බව අප වෙත වාර්තා වේ. යුරෝපයේ කුඩා රාජ්‍යයන් කිහිපයක ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා සහිත මෙම අධ්‍යක්ෂවරයා එම රටවල සංචාරක ප්‍රදර්ශන ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ මුදලින් සංවිධානය කිරීමට මණ්ඩලය පොළඹවනු ලබයි. එම රටවලින් වසරකට සංචාරකයන් දෙතුන් දහසක් වත් පැමිණෙන්නේ නැති වුව ද යහපාලන රජය පැවති කාලය පුරාවටම ඩොලර් මිලියන ගණනාවක විදේශ විනිමය කාබාසිනියා කරමින් එම රටවල ප්‍රදර්ශන පවත්වනුයේ මිනිස් ජාවාරමට සුදුසු පරිසරයක් තනාගැනීම සදහාය.

මෙම ප්‍රදර්ශන සුවිශේෂී ගුණාංගයන්ගෙන් යුක්තය. එක රටක නගර කිහිපයක ප්‍රදර්ශන පැවැත්වීම මුල්‍ය වශයෙන් ලාභ දායක වුවද සංචාරක මණ්ඩලයේ නිලධාරීන් කරනුයේ රටවල් රැසක එක දිගට රජයේ මුදලින් ප්‍රදර්ශන පැවැත්වීම ය. අනතුරුව එම නිලධාරීන්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් පමණක් නොව අනියම් සැමියන් සහ බිරින්දෑවරුන්ගේ නමින් ද  ලියාපදිංචි කර ඇති සංචාරක නියෝජිතායතන හරහා එම සංචාරක ප්‍රදර්ශන සදහා සහභාගීවීමට බව හගවමින් විවිධ පුද්ගලයනට යුරෝපිය රටවලට විසා ලබා දී මුදල් ගරාගැනීම සිදු කරති. මෙම ව්‍යාජ ප්‍රදර්ශන එක දිගට රටවල් හතරක පමණ පවත්වන අතර එක රටකට එක  බැගින් විසා හතරක් නිකුත් කොට රුපියල් ලක්ෂ අසූවත් සියයත් අතර මුදලක් පෙර කී අධ්‍යක්ෂවරයා ඇතුළු ජාවාරම් කරුවන් අතර බෙදාගනිති.

සංචාරක මණ්ඩලය මගින් මෙම ජාවාරම් කරුවන් සම්බන්ධව පරීක්ෂණ සිදු කළයුතු මෙන්ම ඔවුන් සම්බන්ධව අදාළ රටවල තානාපති කාර්යාල දැනුවත් කිරීම ද සිදු කළ යුතුය.

Leave A Reply

Your email address will not be published.