”ජාතිවාදීන්ගේ බළල් අතක් වූ සමගි ජන බලවේගය” යන මාතෘකාවෙන් අගමැතිගෙන් නිවේදනයක්

”ජාතිවාදීන්ගේ බළල් අතක් වූ සමගි ජන බලවේගය” යන්න මාතෘකා කර ගනිමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (05) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළේය.

එම නිවේදනයේ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවේචනයන් ඉදිරිපත්  කර තිබුණි.

ඒ අනුව,

“සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, 2019 එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා හැටියට ‘ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත. එක්ව ගමන යමු.’ යන මැයෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 15-16 පිටුවල ‘ජනතාවගේ ව්‍යවස්ථාව’ පිළිබඳ පරිච්ඡේදයේ, පහත දැක්වෙන යෝජනා  ඇතුළත් විය.

* ඒකීය රාජ්‍යය සංකල්පය අතහැර “නොබෙදුණු හා වෙන්කළ නොහැකි රාජ්‍යයක්.” ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීම.

* මධ්‍යම ආණ්ඩුව සතු බලතල උපරිම ලෙස පළාත් සභාවලට බෙදාහැරීම.

2019 මුල දී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සභාගත කළ නව ව්‍යවස්ථා කෙටුම්පතත්, සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ යෝජනාත් අතර කිසිදු වෙනසක් නැත.

මේ ආකාරයට රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂයක් එළිපිටම බෙදුම්වාදී මූලධර්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කිරීම අතිශයින් ම බරපතළ කාරණයකි.

පටු ජාතිවාදයටත් කප්පම්කාරී දේශපාලනයටත් තිත තැබීම සඳහා ජනාධිපතිවරණයේ දී දුන් ජනවරමටත් වඩා ප්‍රබල ජනවරමක් මේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී අපට ලබාදෙන මෙන් මම සියලු ම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිමි.”

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ,

එමෙන්ම, සජිත් ප්‍රේමදාස මහතා සිදුකරන ප්‍රකාශවලින් සිය පාර්ශ්වයට දිනෙන් දිනම වැඩි වාසි හිමිවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වීරකැටියේ පැවැති ජනහමුවක දී ය.

අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දේශපාලන ක්‍රියාකාරීන්ගේ හමුවක් පසුගියදා (04) වීරකැටියේ දී පැවැත්වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් මුල්කිරිගල රජමහා විහාරස්ථානයේ ස්ථාපනය කරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම ද ඊයේ සිදුවිය.

මුල්කිරිගල රජමහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ සන්සන් පත්‍රය හම්බන්තොට දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙලිගල්ලේ සරණපාල නාහිමියන් වෙත පිළිගන්වනු ලැබුවේ අග්‍රාමාත්‍යවරයා විසිනි.

Leave A Reply

Your email address will not be published.