රාජ්‍යතාන්ත්‍රික බිම්බෝම්බ ගැන විමල් කියන කතාව

පසුගිය ආණ්ඩු සමයේ එළඹීමට නියමිතව තිබූ MCC ගිවිසුම ඇතුළු රාජ්‍යතාන්ත්‍රික බිම්බෝම්බවලින් රට මුදාගැනීම පාර්ලිමේන්තු බලය තහවුරු කරගැනීමත් සමග සූක්ෂමව සිදුකරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත්වන ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයන්ගේ ප්‍රතිඥාව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයන් පිරිසක් ඊයේ (02) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදාගැනීම සඳහා පැමිණියේය.

ඉන් අනතුරුව ජාතික නිදහස් පෙරමුණින් මහමැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ ප්‍රතිඥාව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ට පිළිගැන්වීම සඳහා අමාත්‍යවරයා ඇතුළු නියෝජිතයන් මල්වතු විහාරය වෙත පැමිණියේය.

ප්‍රශ්නය – දැන් ඔබතුමා ඊයේ අදහස් දක්වද්දී කියනවා MCC ගිවිසුමේ හොඳ කොටස් තියෙනවා, ඒ ගැන සලකා බලන්න පුළුවන් කියලා.

අමාත්‍ය විමල් වීරවංශ – කමිටු වාර්තාවේ එක් නිර්දේශයක් කිසිලෙසකින් අත්සන් නොකිරීම, යම් විදිහකින් අත්සන් කරනවා නම් නරක දේවල් ඉවත්කිරීම අපි කැබිනට් ඇමතිවරුන්ගේ නිර්දේශ ලිඛිතව අපි භාරදෙනවා.

පසුගිය ආණ්ඩුවේ බිම්බෝම්බ අතේ පත්තුකරනවා දකින්න සමහරුන්ට ඕනේ අපි ඒ බිම්බෝම්බවලින් රට ගලවගන්නවා. MCC ගිවිසුම විතරක් නෙමෙයි. හුඟක් බිම්බෝම්බ තියෙනවා. සූක්ෂමව මේවා ගලවන්න ඕනේ

ප්‍රශ්නය –  වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න යනවා කියනවා, ඒ ගැන මතවාදයක් නැද්ද?

අමාත්‍ය විමල් වීරවංශ – ඒකත් පෙර ආණ්ඩුවේ බිම්බෝම්බයක්, රටවල් අතර ගිවිසුම්වලින් පරිස්සමින් ගැලවෙන්න ඕනේ. කලින් ආණ්ඩුවේ ගිවිසුම අපි පිළිගන්නේ නැහැ. පාර්ලිමේන්තු බලය ලැබුණම ඒ බිම්බෝම්බෙනුත් ගලවගන්න පුළුවන් වෙයි.

ප්‍රශ්නය – ඔබතුමාලට තුනෙන් දෙක ලබාගන්න බැහැ කියනවා.

අමාත්‍ය විමල් වීරවංශ – අපේ ගාණ ගැන වදවෙන්න එපා. කලින් අය හිටියනම් කියන්න වෙන්නේ කොරෝනා නොහැදුණු ගෙයකින් අබ ඇටයක් ගේන්න කියලා.

Leave A Reply

Your email address will not be published.