පාපන්දු ‘සුපර් ලීගය’ නොවැම්බරයේ

ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ පළමු වරට ‘සුපර් ලීග්‘ තරගාවලියක් පැවැත්වීමට පාපන්දු සම්මේලනය විසින් තීරණය කර තිබේ. මෙම තරගාවලිය එළැඹෙන නොවැම්බර් මාසයේ දී ආරම්භවීමට නියමිතය. මෙම තරගාවලිය ජූලි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබුණු අතර කොවිඩ්-19 අවදානම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා තිබුණි.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ රැසක් සහභාගීවීමට නියමිත බව ද වාර්තා වන නමුත් මේ සම්බන්ධයෙන් පාපන්දු සම්මේලනය විසින් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැත. මෙම පාපන්දු තරගාවලිය බොහෝවිට නොවැම්බර් 12 වැනිදා පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකාව සහ ලෙබනන් තරගයෙන් පසු ආරම්භ කිරීමට සූදානමින් සිටින බවට වාර්තා වේ.

ඩිෆෙන්ඩර්ස්, රිනවුන් වැනි ප්‍රබල ක්‍රීඩා සමාජ මෙම තරගාවලියේ ක්‍රීඩා කරන බවට වාර්තා වූ අතර ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රීඩා සමාජයක් වන සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය මේ සඳහා තරග නොවදින බව ද විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ඉකුත් ජුනි 22 වැනිදා ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් බැද්දගානේ පිහිටි පාපන්දු සංකීර්ණයේ දී ආරම්භ වූ අතර කොවිඩ්-19 අවදානම නිසා ඔවුන් නේවාසිකව පුහුණුවීම්වල නිරත වේ.

Leave A Reply

Your email address will not be published.