ජඩේජා ඉන්දියාවේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා වෙයි

21 වැනි සියවසේ ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් රවීන්ද්‍ර ජඩේජාව නම් කර තිබේ.

පන්දු යැවීම, පන්දුවට පහරදීම සහ පන්දු රැකීම යන තුන් ඉරියව් දක්ෂතා පදනම්කර ගනිමින් ජඩේජාට එම සම්මානය හිමි විය. ඉන්දීය කණ්ඩායමේ අංක එකේ පන්දු යවන්නා ද ජඩේජාවීම කැපී පෙනේ.

31 හැවිරිදි රවීන්ද්‍ර ජාඩ්ජාගේ වර්තමාන පන්දු යැවීමේ සාමාන්‍ය 24.62ක අගයක් ගනී. එය හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ඔස්ට්‍රේලියාවේ ශේන් වෝන්ගේ පන්දු යැවීමේ සාමාන්‍යයට (25.41) වඩා ඉහළ අගයක් ගැනීම විශේෂත්වයක් විය.

එමෙන්ම ජඩේජාගේ ටෙස්ට් ක්‍රිකට්හි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය දැක්වෙන්නේ 35.26ක් වශයෙනි. එය ඔස්ට්‍රේලියාවේ ශේන් වොට්සන්ගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයට (35.19) වඩා ඉහළ අගයකි.

2009 වසරේ ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ ජඩේජා ටෙස්ට් තරග 49ක්, එක්දින තරග 165ක් සහ විස්සයි විස්ස තරග 49ක් ක්‍රීඩාකර තිබේ.

එහිදී පන්දුවට පහරදෙමින් ටෙස්ට් ලකුණු 1863ක්, එක්දින ලකුණු 2263ක් සහ විස්සයි විස්ස ලකුණු 173ක් ඔහු රැස්කරගෙන සිටී. පන්දු යවමින් කැපී පෙනෙන දස්කම් දක්වා තිබෙන ජඩේජා ටෙස්ට් කඩුලු 213ක්, එක්දින කඩුලු 187ක් සහ විස්සයි විස්ස කඩුලු 39ක් වශයෙන් දවාගෙන තිබේ.

Leave A Reply

Your email address will not be published.