අගමැතිකමට සුදුසුම මහින්ද.. ඔහුගේ නායකත්වයෙන් සුජාත පාර්ලිමේන්තුවක් හැදිය යුතුයි..

ඉදිරි නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට සියලු සුදුසුකම් සම්පුර්ණ කර සිටින එකම කෙනා වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බව අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය.

අලුත් ආණ්ඩුවක් පිහිටුවා රට වැටි තිබෙන තත්වයෙන් ගොඩ ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග එක්ව ”සෞභාග්‍යයේ දැක්ම” යථාර්තයක් කර ගැනීමට මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයට හැකි වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

හෙට්ටිගේ මහතා මේ බව කීවේ, මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී සිටින අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ඉකුත් දා නිකවැරටිය, කොබෙයිගනේ, මාවතගම, පරගහදෙණිය, පඬුවස්නුවර ප්‍රදේශවල පැවති ජනහමුවලට සහභාගී වෙමිනි.

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය.

මහින්ද රාජපක්ෂ මහතා 2005 ජනාධිපති වෙන කොට රට තිබුණ තැන කවුරුත් දන්නවා. ත්‍රස්තවාදය පරාද කරල ඉහළ සංවර්ධනය ඇති රටක් බවට පත් කළා. එහෙම වුණේ දැක්මක් සහිත එඩිතර දේශපාලන නායකත්වය නිසා.

2015 දී කුමන්ත්‍රණකාරී ලෙස නොගැළපෙන දෙන්නෙක් එකතු වෙලා රට භාරගෙන විශාල විනාශයක් කළා. එදා ඒකට මිනිස්සු කීවේ එළ හරකා මී හරකා එකට ගැට ගැසුණා වැනි ආණ්ඩුවක් කියල. දෙන්න දෙපැත්තට අදිමින් අවුරුදු 5ක් ගත කළා. රට ආපස්සට ගෙන ගියා.

මහින්ද මහත්තයා හදල දීපු රටට මොන තරම් අපරාධයක් කළාද? කොටි ත්‍රස්තවාදීන් අවුරුදු 30ක් තිස්සේ මහ බැංකුව විනාශ කරන්න මාන බැලුවා. වෙඩි තියල බෝම්බ පිපිරෙව්වා. සිද්ධ වුණේ මතු පිටින් විනාශයක් විතරයිෙ. යහපාලන ආණ්ඩුව ඇවිත් සතියකින් බැඳුම්කර හොරකම කළා. එයින් රටට වූ හානියේ ප්‍රමාණය කියන්න බෑ. මහ බැංකුවේ කීර්ති නාමයත් විනාශ කළා.

එදා අගමැති – ජනාධිපති දෙපැත්තේ සිට කළ විකාර රුපී ආණ්ඩුවේ වැඩ කවුරුත් දන්නවා. ජනතාව අසරණ වුණා. හැම පැත්තකින් ම වැටුණු රටක් ගෝඨාභය රාජපක්‍ෂ මහතා භාරගත්තෙ.

රට හදන්න සුදානම් වෙද්දී කොරෝනා වසංගතය ආවා. ඒ නිසා බොහෝ දේ කඩා වැටුණා. යළි අපි නැගිටින්න ඕනෑ .ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් සුජාත පාර්ලිමේන්තුවක් හැදිය යුතුයි .එහි අගමැති ධුරයට වෙනත් සුදුස්සෙක් නෑ. එතුමා උතුම් මානව හිතවාදියෙක්. ජනතාව තවමත් ආදරය කරන්නේ එනිසා. අපි එතුමා වටා පෙළ ගැසෙමු යැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.