හිස්බුල්ලා බෙදූ අවි සහරාන් ළඟ තිබිලා – කොමිසමේ දී හෙළිවේ

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා විසින් බෙදාදුන් අවි ආයුධ සහරාන් හෂීම් වෙත ලැබී තිබුණු බවට වන තොරතුරක් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ දී හෙළි වුණි.

ඒ පුවත්පත් මාධ්‍යවේදී ක්‍රිස්ටෝපර් කමලේන්ද්‍රන් මහතා කොමිසම හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේ දී ය.

පුවත්පත් මාධ්‍යවේදී ක්‍රිස්ටෝපර් කමලේන්ද්‍රන් මහතා 2009 වසරේ අගෝස්තු මාසයේදී ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඊයේ (24) විමසා සිටියේය.

“2009 ජූලි මාසයේ දී බේරුවල එක්තරා මුස්ලිම් පල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසුව මම කාත්තන්කුඩි ප්‍රදේශයට ගියා. එහිදී දැනගන්නට ලැබුණා සහරාන්ගේ කණ්ඩායම සහ සාම්ප්‍රාදායික මුස්ලිම්වරුන් අතර විවිධ අවස්ථාවල ගැටුම් ඇති වෙලා තිබුණා කියලා. කාත්තන්කුඩි ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් සහරාන්ගේ දුරකතන අංකය ලබාගෙන ඔහුව හමුවීම සඳහා එම ප්‍රදේශයේ ම පිහිටි කාර්යාලයකට ගියා. එම කාර්යාලයේ ටී 56 වර්ගයේ ගිනි අවි කිහිපයකුත් දක්නට ලැබුණා.” යනුවෙන් එම මාධ්‍යෙව්දියා ප්‍රකාශ කළේය.

අදාළ ගිනි අවි සම්බන්ධයෙන් තමන් පුද්ගලයෙකුගෙන් විමසීමේදී ඒවා එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා විසින් කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට බෙදා දී තිබූ ඒවා විය හැකි බවට ඔහු සඳහන් කළේ යැයි ද මාධ්‍යවේදී ක්‍රිස්ටෝපර් කමලේන්ද්‍රන් මහතා වැඩිදුරටත් සාක්ෂි දෙමින් කියා සිටියේය.

අදාළ ගිනි අවි ලබා දී ඇත්තේ කුමන කාලවකවානුවක දී ද යන්න කොමිසම විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ ඒවා 1993 වසරේ කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් පසුව හිස්බුල්ලා හරහා මුස්ලිම් ජනතාව වෙත බෙදා දී ඇතැයි අනාවරණ වූ බව ය.

මෙලෙස අවි බෙදාදීමක් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩු සමයේ සිට ම සිදුව ඇති බව ද සාක්ෂිකරු සඳහන් කළේය.

එමෙන්ම 2009 වසර වන විට සහරාන් සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් විසින් කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි සාම්ප්‍රාදායික මුස්ලිම්වරුන්ගේ නිවාස 100කට වැඩි ප්‍රමාණයක් විනාශ කර තිබූ බවත් ඔහු පැවසීය.

නමුත් සහරාන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ දී ඔහු එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ බව සාක්ෂිකරු සඳහන් කළේය.

සහරාන් සහ සාම්ප්‍රාදායික මුස්ලිම්වරුන් අතර ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් තමන් එවකට නැගෙනහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති එඩ්වින් ගුණතිලක මහතා සමග සාකච්ඡා කළ බවත්, “ඔය වගේ ගැටුම් තියෙනවා. ඒවා අපිට විසඳන්න බැහැ. දේශපාලන අර්බුදයක් තියෙන නිසා රාජ්‍ය නිලධාරීන් ලෙස එවැනි කරුණුවලට මැදිහත් වෙන්න බෑ.” ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට පැවසූ බවත් මාධ්‍යවේ දී ක්‍රිස්ටෝපර් කමලේන්ද්‍රන් මහතා කොමිසමට අනාවරණ කළේය.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ වත්මන් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා අද දීර්ඝ සාක්ෂි ලබාදීමක් සිදුකළේය.

මෙම සාක්ෂි ලබාගන්නා අවස්ථාවේ දී කොමිෂන් සභා පරිශ්‍රයට මාධ්‍යෙව්දීන්ට ඇතුළුවීමට අවස්ථාව හිමිවූයේ නැහැ.

Leave A Reply

Your email address will not be published.