කුඩා ව්‍යාපාරිකයාට නැගිටින්න නිදහස දෙන්න – ජනපති

රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීමෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල දියුණුවට බාධා විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අවශ්‍ය වන්නේ පහසුකම් සහ නිපුණතා සංවර්ධනයට සහයවීම බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

රූපලාවණ්‍ය හා කේශාලංකරණ ක්ෂේත්‍රයේ නිරතවන්නන්ගේ වෘත්තීය භාවය වැඩිදියුණු කිරීම, මූල්‍ය පහසුකම් සැලසීම  හා වෙළෙඳ ප්‍රවර්ධන හැකියාව ලබාදීම රජයේ වගකීම බව ජනාධිපතිවරයා පැවසීය.

බොහෝදෙනාගේ ඉල්ලීම මත ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහාය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට ලබාදීමට ජනාධිපතිවරයාගේ එකඟතාව පළ කෙරිණ.

එය එම පිරිස බැඳීම්වලට ලක් කිරීමට නොව අවශ්‍යතා ඉටුකර ගැනීමට දායකවීම සඳහා පමණක් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සුළු, මධ්‍ය හා මහා පරිමාණ රූපලාවන්‍ය මධ්‍යස්ථාන අනූදහසක්  රට පුරා ඇති අතර, ලක්ෂ හතර හමාරකට අධික පිරිසක් සේවයේ නිරත වෙති. ඔවුන්ගෙන් යැපෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ 15ක් පමණ වේ.

රූපලාවණ්‍ය වෘත්තියක් ලෙස ගුණාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය පුහුණුව ලබාදීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

ජාතික වෘත්තීය සුදුසුකම් පාඨමාලාවේ (NVQ) 05, 06 සහ 07 අදියර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන ලෙස දජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබුවේය.

Leave A Reply

Your email address will not be published.