සල්ලි වැඩි නිසා පසුම්බිය පොලීසියට භාරදුන් හොරෙක්

මොනරාගල නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකට කෑම පාර්සලයක් ගැනීමට පැමිණි තරුණියකගේ රුපියල් එක්ලක්ෂ පහළොස්දහසක් අඩංගු මුදල් පසුම්බියක් සොරකම් කළ අයෙකු නැවත එම මුදල් පසුම්බිය පොලීසියට භාරදුන් පුවතක් වාර්තා වනවා.‍

අදාළ තරුණියගේ ස්වාමිපුරුෂයාට අයත් ත්‍රිරොද රථයක් කල්බදු පහසුකම යටතේ මූල්‍ය ආයතනයකට උකස්කර ඉන් ලබාගත් මුදල් රැගෙන නිවසට යමින් සිටින අතරතුර කෑම පාර්සලයක් ගැනීම සඳහා මොණරාගල නගරයේ පිහිටි හෝටලයකට ගිය අවස්ථාවේ දී  මෙම මුදල් සොරාගෙන තිබුණා.

ඒ අනුව මේ පිළිබදව ‍මොනරාගල පොලීසියට ලද පැමිණිල්ලකට අනුව පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් එම හෝටලයට ගොස් එහි සේවකයින්ගෙන් කළ තොරතුරු විමසීම්වල දී මෙම සිදුවීමට අදාළව පැහැදිලි තොරතුරක් ලබාගැනීමට නොහැකිවී තිබුණා.

කෙසේ නමුත් පොලිස් උකුසු ඇස යොමුකරමින් තව දුරටත් ඉතා සූක්ෂම අයුරින් කටයුතු කල අපරාධ විමර්ශන අංශය එම හෝටලය තුළ තිබූ සී.සී.ටී.වී කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේ දී මෙම සොරකමට අදාළ සැකකරු පිළිබදව තොරතුරු අනාවරණය කරගෙන තිබුණා.

ඒ අනුව ඔහු අත්අඩංතුවට ගැනීමට අදාළ මෙහෙයුම් ක්‍රියාත්මකව තිබියදී මෙම සිදුවීමට අදාළ සැකකරු ඊයේ (24) උදෑසන ඔහු සොරාගත් මුදල් පසුම්බිය අදාළ මුදල් ද සමග පොලීසියට භාර දුන් බව පොලීසිය සඳහන් කළා.

මේ පිළිබදව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු ප්‍රකාශකර ඇතතේ තමන් පුද්ගලික අවශ්‍යතාවක් සදහා අදාළ හෝටලයට පැමිණි අවස්ථාවේ දී ත්‍රීරොද රථය තුළ තිබූ මෙම මුදල් පසුම්බිය තමන් සොරාගත් බවත්, මෙම මුදල් පසුම්බිය තමන් සතුව තබාගැනීමට බියවූ නිසා පොලීසියට ගෙනවිත් භාරදීමට තමන්ට සිතුණ බවත් ය.

Leave A Reply

Your email address will not be published.