සචින්ගේ රසිකයන් වෙනුවෙන්වත් මේ තරග පාවාදීමේ චෝදනා ගැන පරීක්ෂණයක් කරන්න – අරවින්ද ඉන්දියාවෙන් ඉල්ලයි

ඉන්දියාවේ ක්‍රිකට් පුරාවෘත්තයක් වන සචින් ටෙන්ඩුල්කාර් සහ ඔහුගේ රසිකයන් වෙනුවෙන් 2011 ලෝක කුසලාන තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ඉන්දීය මාධ්‍යයක් වෙත පවසා තිබේ.

ඉකුත් ජුනි 18 වැනිදා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ පාවාදීමක් සම්බන්ධව මාධ්‍ය වෙත අනාවරණයක් සිදු කළේය. මෙම පුවත ලොව පුරා මාධ්‍ය සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය කැලඹූ අතර අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට ලෝක ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතය. මෙසේ නිකුත් වන පාවාදීම් චෝදනා සම්බන්ධයෙන් නිවැරදි පරීක්ෂණයක් සිදු නොකළහොත් අදාළ චෝදනා ඉන්දීය 2011 ලෝක කුසලාන ජයග්‍රාහකයින් වෙතට පවා බලපා හැකි බව අරවින්ද ද සිල්වා විසින් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ. 96 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ජයග්‍රාහී ශතකය වාර්තා කළේ අරවින්ද ද සිල්වා විසිනි. 2011 ලෝක කුසලාන සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ එවක සභාපතිත්වය දැරුවේ ද අරවින්ද ද සිල්වා වීම විශේෂත්වයකි.

1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ නායක අර්ජුන රණතුංගද මීට ඉහතදී, එනම් 2017 වසරේ දී අදාළ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන්නා දැයි තමාටද ගැටලුවක් පවතින බවට ප්‍රකාශ කර තිබේ.

දකුණු අප්‍රිකානු නායක හැන්සි ක්‍රොන් යේගේ සිදුවීමෙන් අනතුරුව මෙතෙක් ඉතිහාසයේ තරග පාවාදීම් සම්බන්ධයෙන් වූ දැවැන්ත ම හෙළිදරව්ව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙයි.

Leave A Reply

Your email address will not be published.