‘නොපෙනන බලවේගයක්’ සංවිධානය කළ පුත්තලම ක්‍රිකට් තරගාවලිය නවතී?

ඉන්දියාවේ සජීවීව විකාශය කිරීමටත් කටයුතු යොදලා

හෙට (25 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ පුත්තලම් දිස්ත්‍රික් ටී10 ක්‍රිකට් තරගාවලිය කව්රුන් විසින් සංවිධානය කරනු ලබන්නක්ද කියා හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නොදන්නා බව එම ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතවූ කිසිදු ක්‍රීඩකයෙකුට මෙම තරගාවලියට සහභාගිවීමට අවසර නොමැති බව ද ඒ මහතා අවධාරණය කර සිටියේය.

මෙම තරගාවලියේ අනන්‍යතාව හෝ වගකීම සම්බන්ධයෙන් ප්‍රශ්න පැනනැගීමත් සමග අදාළ තරගාවලිය අහෝසි වී ඇතැයිද මේ අතර වාර්තා විය.

අදාළ ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිසිදු අනුමැතියක් ලැබී නොමැති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් එවැනි තරගයකට සහභාගිවීමට අවසර ඉල්ලා නැති බවත් ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියේය.

කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් පැවැත්වීමට යෙදී තිබුණු මෙම තරගාවලිය ජුලි 6 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම්කර තිබුණි. ඒ අතර ස්පාර්ටන් හීරෝස්, පුත්තලම් ස්ටාර්ස්, චිලව් වොරියර්ස්, රෝයල් ලයන්ස්, ග්ලෝබල් රයිඩර්ස්, හරිකේන් බ්ලාස්ටර්ස්, පවර් ග්ලැඩියේටර්ස් සහ ජයන්ට් ලෙජන්ඞ්ස් යන කණ්ඩායම් විය.

එම කණ්ඩායම් එක් කාණ්ඩයකට 4 බැගින් වූ කාණ්ඩ දෙකකට බෙදා තරග පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර තරගාවලිය ඇතුළත් වූ මුළු තරග සංඛ්‍යාව 46 ක් ලෙසින් දැක්විණි. තරගාවලියට අයත් සියලුම තරග අනුරාධපුර සමාධි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. මේ සඳහා මෑතකදී ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් සහ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් වන අජන්ත මෙන්ඩිස්, චාමර කපුගෙදර, තිලාන් තුෂාර, චාමර සිල්වා සහ නුවන් කුලසේකර යන ක්‍රීඩකයින්ද සහභාගි වීමට සිටි බවට වාර්තා වේ.

යම් හෙයකින් අදාළ තරගාවලිය පවත්වන්නේ නම්, එය කොරෝනා වෛරස තත්ත්වයෙන් පසුව ලොව පැවැත්වෙන දෙවැනි ක්‍රිකට් තරගාවලිය බවට පත්වීමට නියමිත විය. කොරෝනා වෛරස තත්ත්වය පවතින සමයේ පැවැති පළමු ක්‍රිකට් තරගාවලිය වූයේ වින්සි ටී10 ක්‍රිකට් තරගාවලියයි.

මෙම තරගාවලිය ඉන්දියාවේ රූපවාහිනී නාළිකාවක සජීවීව විකාශනය කිරීමට කටයුතුකර තිබුණු අතර ඉන්දීය සංවිධායකයින් පිරිසක් මෙහි සංවිධායක කටයුතු කළ බව පැවසෙතත් ඒ කවුරුන්ද, යන්න ගැන කිසිවෙකුත් නිශ්චිත යමක් ප්‍රකාශ නොකිරීම මෙම තරගාවලිය ගැන කුකුසක් මතුකරවන්නක් වේ.

• ගයාශාන් විතානආරච්චි

– Aruna

Leave A Reply

Your email address will not be published.