මහින්දානන්දගෙන් පිටු 6ක පැමිණිල්ලක්

2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් සිදුවුවේ යැයි කියන තරග පවාදීම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට අදාළ පිටු හයකින් සමන්විත පැමිණිල්ලක් අද (24) දින පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාරදුන් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අද (24) උදෑසන 6.30ට පමණ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් 2011 වසරේ ලෝක කුසලාන තරගාවලිය පාවාදීම සම්බන්ධයෙන් සිදු කරන  ලද ප්‍රකාශය පිළිබඳව එතුමාගේ නාවලපිටියේ පිහිටි කාර්යාලයේ දී ක්‍රිඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

එම ප්‍රකාශ අනුව වැඩිදුර විමර්ශන ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ ඒකකය විසින් සිදුකරනු ලබයි.

මෙම ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා, තමන් කළ පැමිණිල්ල පිටු හයකින් සමන්විත වන බවත්, එම පැමිණිල්ලට අදාළ ලේඛන අටක් ද පොලිස් විශේෂ විමර්ශන අංශය වෙත භාර දුන් බවද පැවසීය.

ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12 අතර තරග පවාදිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නමද ඇතුළත් බවත්, මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කම්ටුව විසින් විශේෂ ලිපියක් එවා තිබූ බව ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය.

එම තරග පවාදීම සම්බන්ධයෙන් පවතින සැකය සම්බන්ධයෙන් දැනට පොලිස් විශේෂ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇති බැවින් තවදුරටත් ඒ පිළිබඳව කතා නොකරන ලෙස ද අමාත්‍යවරයා සියලු මාධ්‍යවේදීන්ගෙන් මෙහිදී ඉල්ලුවේය.

Leave A Reply

Your email address will not be published.