භාණ්ඩ බෙදීමෙන් ජනතාව රවටන්න බෑ – අගමැති

රට සංවර්ධනය කිරීමේ සහ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේ වගකීම රජය සතුව ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ පැවැසීය.

එමනිසා ජනාධිපතිවරයාට සහාය දෙමින් සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සහාය දෙන කණ්ඩායමක් මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තෝරා පත්කිරීම ජනතාවගේ වගකීමක් බවද හෙතෙම සඳහන් කළේය. අගමැතිවරයා මෙසේ සඳහන් කළේ පෙරේදා (22 වැනිදා) කුරුණෑගල රඹේ හන්දියේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැලියක් අමතමිනි. ජනතාව සමග සමීපව කටයුතු කරන, ජන හදවත් හඳුනන දේශපාලන නායකයන්ට ජනතාවගේ මනාපය හිමිවන බව කී අගමැතිවරයා ජනතාව සමග සමීපව කටයුතු නොකිරීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට හම්බන්තොට දිස්ත්‍රික්කය අත හැර දැමීම සිදුවූ බවද කීවේය.

ජනාධිපතිවරණයෙන් ජයගැනීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට නොයෙක් මාදිලියේ භාණ්ඩ බෙදීමට ප්‍රේමදාස මහතා කටයුතු කළත්, ජනතාව අවසානයේ ජන හදවත් හඳුනන නායකත්වය සමග අත්වැල් බැඳ ගත් බවද හෙතෙම කීවේය. ප්‍රේමදාස මහතා තමන් නියෝජනය කරන ප්‍රාදේශීය සභාවවත් ජයග්‍රහණය නොකළ බවද අගමැතිවරයා සිහිපත් කළේය. භාණ්ඩ බෙදාදීම වැනි දේ මගින් ජනතාව රැවටීමේ හැකියාවක් වර්තමානයේ නැතැයිද කී අගමැතිවරයා ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා හැකියාවක් ඇති පිරිස් තෝරා පත්කර ගැනීම කෙරෙහි ජනතාව අවධානය යොමු කරන බවද කීවේය.

• එස්.විජේරත්න – අඹන්පොළ

– Aruna

Leave A Reply

Your email address will not be published.